Blog

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම උදෙසා ප්‍රතිචක්‍රීකරණය දායක වන්නේ කෙසේ ද?

sugandika

Oct 22, 2021

0

සමස්ථ ලෝකයේත් සමස්ථ මානව වර්ගයාගේත් පැවැත්ම උදෙසා යහපත් දේශගුණය යන්න අත්‍යවශ්‍ය සාධකයකි. නමුත්  වර්තමානය වන විට සමස්: මානවයාටත්, සමස්ත ලෝකයටත් සැලකිය යුතු බලපෑමක් කරනු ලබන ප්‍රබලතම ගැටලුවක් බවට මෙම දේශගුණික විපර්යාසයන් පත්ව ඇත. 

ඒ අනුව එක්සත් ජාතින්ගේ සම්මුතියෙහි නිර්වචනය කර ඇති පරිදි දේශගුණික විපර්යාසයන් යනුවෙන් හැඳින්වනුයේ සංසන්දනාත්මක කාලපරිච්ඡේදයක් තුළ මානව ක්‍රියාකාරීත්වයට සෘජුව හෝ වක්‍රව ආරෝපණය කරන ගෝලීය සංයුතියන්හි වෙනස්වීම හා ස්වභාවික දේශගුණික විචල්‍යතාවයන්ය. එනම් ස්වාභාවික හෝ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයේ ඇති වන වෙනස්වීම් නිසාවෙන් දේශගුණ‌යේ ඇති වන විවිධ විෂමතාවයන් දේශගුණික විපර්යාසයන් ලෙස සරලව හඳුනාගත හැක.

වර්තමානය වන විට ලංකාව ද එකී ගැටලුවෙන් බැටකනු ලබන රාජ්‍යයන් අතරින් ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකා පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවයට දක්වන ලද අදහස් පරිදි, 2017 වර්ෂයේ දත්තයන්ට සාපේක්ෂව දේශගුණික විපර්යාසයන් හේතුවෙන්  ලෝකයේ වැඩියෙන්ම බලපෑමට ලක්වන රාජ්‍යයන් අතරින් දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත. එසේම 2017 වර්ෂයේදී දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 3200 ක පමණ හානියක් සිදු වී ඇති බව හඳුනාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් පීඩාවට පත්වන ප්‍රධානතම රාජ්‍යයක් බවට පත්ව ඇති ආකාරය උක්ත කරුණු ඔස්සේ තවදුරටත් මනාව සනාථ වේ. 

මෙම දේශගුණික විපර්යාසයන් ඇති වීමෙහිලා ප්‍රධානතම හේතු සාධකයක් බවට පත්වනුයේ ස්වාභාවික ක්‍රියාවන් හා මානව ක්‍රියාකාරකම්ය. නමුත් 19 වන සියවස අවසන් වන විට දේශගුණික විපර්යාසයන් නිර්මාණයෙහිලා විශේෂයෙන්ම මානව ක්‍රියාකාරකම් වඩාත් ප්‍රමුඛ සාධකය බවට පත්ව ඇත.

එවැනි මානව ක්‍රියාකාරකම් අතරින් කිහිපයක් ලෙස බලශක්ති උත්පාදනය උදෙසා ගල් අඟුරු, ඛනිජ තෙල් සහ පොසිල ඉන්ධන දහනය කිරීම, වනාන්තර විනාශය, කර්මාන්තශාලා හරහා බැහැර කරනු ලබන අපද්‍රව්‍ය, ශක්තිය ජනනය නොවන රසායනික ද්‍රව්‍ය, ලෝහ හා ඛනිජ පරිසරයට මුසු කිරීම, හරිතාගාර වායු විමෝචනය දැක්විය හැක. මේ හරහා සිදු වන්නා වූ මෙම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මීතේන් හා කාබන්ඩයොක්සයිඩ් වැනි වායුන්  වායු ගෝලයට එක්වීම, මෝසම් සුළං රටාවන්ගේ වෙනස් වීම, නිසි කලට වැසි නොලැබීම හා දිගු නියං තත්වයන් ඇති වීම, ගෝලීය උණුසුම ඉහල යාම වැනි අහිතකර තත්වයන් ඇති වීම කෙරෙහි බලපෑම් කරනු ලබයි. එසේම ක්ෂණික ජල ගැලීම්, නායයාම් වැනි  තත්ත්වයන් ශ්‍රී ලංකාව තුළ නිරන්තරයෙන් දක්නට හැකි වනුයේ ද මෙම දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුල අවම වන නිසාවෙනි.

එනිසාවෙන්  මෙම දේශගුණික විපර්යාසයන් අවම කිරීමෙහිලා අපගේ දායකත්වය අතිශයින්ම වැදගත් වන්නේ සමස්ථ පරිසරයත් සමස්ථ මානවයාගේත් සුරක්ෂිතතාව උදෙසා ප්‍රධාන භූමිකාවක් පැවරී ඇත්තේ සමස්ථ මානව සංහතියට වන නිසාවෙනි. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය යනු එසේ දේශගුණික විපර්යාසයන් අවම කිරීමෙහිලා මානවයන් ලෙස ගත හැකි ප්‍රධාන පියවරකි.

බැහැර කරන අපද්‍රව්‍ය කුණු කසළ ලෙස ඉවත නොදමා පරිසරයට හානියක් නොවන පරිදි ඒවා නැවත නව නිශ්පාදන බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය මෙලෙස ප්‍රතිචක්‍රීකරණය ලෙස හැඳින්විය හැකි ය. මෙය නිවසේ මුළුතැන්ගෙයින් ආරම්භ කළ හැකි ඉතා සරල ක්‍රියාවලියකි. නිදසුනක් ලෙස නිවසේ අපතේ යන කාබනික අපද්‍රව්‍යය මහා මාර්ගවලට ගෙන ගොස් දැමීම හෝ පුළුස්සා දැමීම සිදු නොකොට ඒවා කොම්පෝස්ට් බවට පත් කොට ගෙවත්ත තුළ ම භෝග වගාව සිදු කළ හැකි ය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දේශ.=ණික විපර්යාසයන් ඇති වීමට බලපානු ලබන ප්‍රධානතම කරුණක් ලෙස අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම දැක්විය හැකි ය. නිවසේ මුළුතැන්ගෙයින් ඉවත දමන කැළි කසළ පවා මිනිසුන් මහා මාර්ගවලට ගෙන ගොස් දමයි. අතිශය ජනාකීර්ණ කොළඹ ප්‍රදේශය තුළ කැළි කසළ ගැටළුව ඉතා උග්‍ර ය. මෑත කාලීනව ඇති වුණු මීතොටමුල්ල කුණු කන්දේ ගැටළුව ඊට සාක්ෂ්‍ය දරයි. මෙලෙස නිවසේ කුණු මුළු මහත් රටටම බරක් වන තුරු ඇස් කන් වසා සිටීම රටේ පුරවැසියන් වශයෙන් අප කළ යුත්තක් නොවේ. අප විසින් දිනකට කොතරම් නම් ප්ලස්ටික් බෝතල්, ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය, කඩදාසි ආදිය ඉවත දමනවා ද? කර්මාන්තශාලා බහුල ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක තුළ දිනකට කොතරම් නම් දූෂිත වායු, අප ජලය පරිසරයට මුදා හැරෙනවා ද? මෙම දූසිත වායූන් මෙන්ම කැළි කසළ ගොඩ ගැසීම හේතුවෙන් හට ගන්නා මීතේන් වැනි විෂ සහිත වායූන් (හරිතාගාර වායු) පරිසරයට එක් වීම, පොසිල ඉන්ධන භාවිතය අවම කර ගැනීමට නම් ප්‍රතිචක්‍රීකරණය සිදු කළ යුතු ය.

ප්‍රතිචක්‍රීකරණය තුළින් ශක්තිය ඉතිරි කරයි. ඒ කෙසේද යත් අමුද්‍රව්‍යවලින් නව නිශ්පාදන සෑදීම සඳහා විශාල ශක්තියක් වැය වන අතර අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීමේදී හරිතාගාර වායූන් විශාල වශයෙන් පරිසරයට මුදා හැරේ. නමුත් භාවිතා කරන ලද භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය තුළින් ඒවා නැවත අලුතින් ම නිපදවීමට වැය වන ශක්තිය අවම කරයි. එතුළින් හරිතාගාර විමෝචනය වළක්වයි. උදාහරණයක් ලෙස කඩදාසි ප්‍රතිචක්‍රීකරණය තුළින් ගස් රාශියක් ම සං‍රක්ෂණය කිරීමේ මෙන් ම ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාව 2010 දී පැරිස් ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ රට තුළ “හරිත සංකල්පය”  ක්‍රියාත්මක කළ අතර කැළි කසළ බැහැර කිරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කළ නමුත් ඒවා මේ වන විටත් නිසි අයුරින් සිදු වේද යන්න ගටළු සහගත ය.

ඇතැම් කර්මාන්තශාලාවල අප ජලය නැවත පිරිපහදු කොට තම නිශ්පාදනයන් සඳහා යොදා ගැනීමේ ක්‍රමවේද සකස් කොට තිබෙනු දැක ගත හැකි ය. මෙවැනි ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදයන් රට තුළ ක්‍රියාත්මක කරන්නේ නම් දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමේ හැකියාව උදා වනු ඇත.

ඔබේ නිවසේ මුළුතැන්ගෙයින් ප්‍රතිචක්‍රීකරණය ආරම්භ කරන්න. එලෙසින් ප්‍රතිචක්‍රීකරණය තම අත්‍යාවශ්‍ය චර්යාවක් බවට පත් කර ගැනීම මඟින් කුණු කසළ ගොඩ ගැසී ඇති වීදිවලින් තොර, දූෂිත ජලය හා දූෂිත වායුවෙන් තොර හරිත හෙටක් නිර්මාණය කළ හැකි ය. එතුළින් දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා දායක වීමේ හැකියාව ලැබෙනු ඇත.

Reference

BBC News සිංහල. (2019, December 3). දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාවට සිදු වූ හානිය. https://www.google.com/amp/s/www.bbc.com/sinhala/sri-lanka-50635950.amp

Liyanagedara, N. (2020, October 5). දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්. roar.media. https://roar.media/sinhala/main/environment-wildlife/damages-caused-by-climate-change/ampදේශගුණික විපර්යාස යනු කුමක්ද? (n.d.). ecomark. Retrieved July 22, 2021, from https://www.ekoloji.com/si/ekoloji/iklim-degisikligi-nedir/

About the Author:

sugandika

R.G.Sugandika Waidyarathne

I am an undergraduate at the University of Colombo and I'm in my final year. My study scope is Conflict Resolution and Peace. Currently, I am working as a research intern at International Youth Alliance for Peace. I am very interested in peacebuilding, human rights, and social works.

Share This Entry