Blog

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ තරුණ සවිබල ගැන්වීම පිලිබද වර්තමාන තත්ත්වය.

May 07, 2021

0

තරුණ සවිබලගැන්වීම යනු සෑම ආකාරයකින්ම තරුණයින් දිරිමත් කිරීමේ ක්‍රියාවලියකි. එය තරුණයන්ට විවිධ තත්ත්වයන්ට අනුව හැඩගැසීමට හා අනුවර්තනය වීමට ඉවහල් වන අතර මෙම ආකල්පමය, ව්‍යුහාත්මක හා සංස්කෘතික ක්‍රියාවලිය හරහා තරුණයන්ගේ පෞරුෂ සංවර්ධනය‍,‍‍ සමානාත්මතාවය, සිවිල් සම්බන්ධතා සහ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම යන කාරණාවන් ආමන්ත්‍රණය කරනු ලබයි. එනම්  තරුණයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා සවිබල ගැන්වීම තුළ වඩාත් ස්වාධීන පුද්ගලයකු බිහි කර ගත හැකි අතර අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස හොඳ ප්‍රජාවක් බිහි කර ගැනීමෙහිලා එකී ක්‍රියාවලිය ඉවහල් වනු ඇත.  ඒ අනුව යෞවනයන් යනු වර්තමානය  හා අනාගතය එකිනෙකට  සම්බන්ධ කිරීමේ  නියෝජිතයන් වන හෙයින් තරුණ සවිබල ගැන්වීම රටකට අතිශය වැදගත් වන බව පැහැදිලිය. ඒ් අනුව ශ්‍රී ලංකාව තුල මෙම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය හා වර්තමානයේ කොවිඩ් 19 තත්ත්වය ඒකී ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කර ඇති ආකාරය මෙසේ විමසිය හැක.

 ඒ් අනුව මෙම තරුණ සවිබල ගැන්වීම උදෙසා රාජ්‍ය අංශයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයන් හරහා ද විවිධ වූ වැඩසටහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකාව සැලකූවිට 2017 රජයේ විසින් තරුණ රැකියා සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලද අතර එය ප්‍රථම වතාවට  සමකාලීන කරුණු මත ගොඩ නගන ලද රැකියා ප්‍රතිපත්තියකි. එසේම වර්තමානයේ දී ජාතික රාමුව තුළ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යායාංශය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තාරුණ්‍ය සවිබලගැන්වීම කෙරෙහි උත්සහ ගනු ලබයි. එසේම තරුණයින්ගේ දක්ෂතාවයන් කුසලතාවන් ආදිය සවිබලගැන්වීම කෙරෙහි ද විවිධ රාජ්‍ය නොවන සංවිධානයන් විශාල ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මක වනු දැකගත හැක.

International Youth Alliance for Peace (IYAP), AISEC, වැනි සංවිධානයන් ඊට කදිම නිදසුනක් වන අතර ඒ් හරහා සමාජ සංවර්ධනය උදෙසා තරුණයන් සතු දක්ෂතා කුසලතාවන්  දියුණු කරමින් තරුණයන් දිරිගැන්වීමෙහිලා ප්‍රමුඛ මෙහෙයක් සිදු කරනු ලබයි. තරුණයන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය, තරුණයන්ගේ අනාගතය වඩාත් ඵලදායි කරගැනීම උදෙසා විවිධ අධ්‍යාපනික වැඩසටහන් සා පුහුණු වැඩමුලු සංවිධානය කිරීම තුල තරුණයන් දිරි ගැන්වීම මෙම සංවිධානයන්හි මූලික පරමාර්ථ අතර වේ.

නමුත් වර්තමානය වන විට මේ සියල්ල අභියෝගයට ලක්කරමින් කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සමස්ත ලංකාවේ මෙන්ම ලෝකයම අනාගතය අවිනිශ්චිතතාවයකට ලක්කර ඇත. මන්ද යත් වැඩිහිටි, ළමා තරුණ යන සියලුම වයස් කාණ්ඩයන්ට ‌මේ ඔස්සේ  දැඩි අභියෝගයක් එල්ල කර ඇති නිසාවෙනි. එහෙයින් ඉහත සඳහන් කරන ලද ප්‍රතිපත්ති වැඩසටහන් මෙම වසංගතය හමුවේ දැඩි අභියෝගයකට ලක්ව ඇත. එකී තත්වය හේතුවෙන් ලෝකයේ සෙසු රටවල් වල මෙන්ම ලංකාව තුළ ද තරුණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය මන්දගාමී තත්වයකට පත් කර ඇත.

සැබැවින්ම කොවිඩ් 19 මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ දීර්ඝකාලීන  රටාවන් කඩාකප්පල් කර ඇත. විශේෂයෙන් අධ්‍යාපනය,මෘදු කුසලතා පුහුණුව ආදියෙහි වැදගත්කම පිළිබඳ තරුණ පිරිස් සවිබලගැන්වීම හරහා ආමන්ත්‍රණය කළ ද කොවිඩ් 19 හමුවේ එය අඩාළ වී ඇත. නිදසුනක් ලෙස පාසල් ළමුන්ගේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන්ගේ අධ්‍යාපන තත්ත්වයන් වර්තමානය වන විට අඩාල වී ඇති අයුරු හදුනාගත හැක. එනම් එය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට තරුණයින් සවිබල ගැන්වුවද එසේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔවුනට තම අධ්‍යාපන කටයුතු කිරීමට සියලු යෞවනයන් වෙත එක හා සමාන  හැකියාවක් නොමැත. මන්දයත්  දුෂ්කර පළාත්වල බොහෝ තරුණ පිරිසගේ පවතින ආර්ථිකමය හැකියාවන්, අවශ්‍ය්‍ය පහසුකම් නොමැති වීම (සංඥා ගැටළු, පරිගණක, ලැප්ටොප් හෝ දුරකථන නොමැතිවීම) යන කාරණාවන් හේතුවෙනි. එහෙයින් බොහෝ විට දේශීයව මෙන්ම විදේශීයව අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ගේ  අධ්‍යාපනය කෙරෙහිද මෙය දැඩිව බලපෑම් කර ඇත.  ඉහත උක්ත කරුණු නිසාවෙන් තරුණ තරුණියන්ගේ සියලු ඉලක්කගත අනාගත සැලසුම් මේ  හරහා තරමක් අභියෝගයකට ලක්ව ඇත.

තවද ආර්ථිකය යනු යෞවනයන්ගේ අතිශය වැදගත් අංශයක් වන අතර  අධ්‍යාපනයෙහි අවසාන පරමාර්ථය වනුයේ ද සුදුසු රැකියාවක නිරතවීමය. නමුත් කොවිඩ් 19 වසංගතය හමුවේ එය විශාල අභියෝගයකට ලක් ව ඇති අතර බොහෝ තරුණ තරුණියන්ට තම ආදායම් මාර්ග අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්  වලට දැඩි ලෙස සමාජ ආර්ථික ගැටලු උදෙසා මුහුණ පෑමට සිදුව ඇත. වසංගතය හේතුවෙන් පනවන ලද සංචරණ සීමාවන් නිසාවෙන්  තම රැකියා අවස්ථාවන් අහිමි වූ තරුණයින් රැසක් ශ්‍රී ලංකාව තුළ වාර්තාවේ. එහිදී පුද්ගලික අංශයේ රැකියාවන්හි නිරත වූවන් ඉන් ප්‍රමුඛ වේ.එසේම පසුගිය වසරෙහි විශ්ව විද්‍යාලයෙන්  බැහැර වූ උපාධිධාරී තරුණ පිරිසට සිය රැකියාවන් සොයා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවීම තවත් එක් අහිතකර බලපෑමකි. මන්ද යත් බොහෝ රැකියා ස්ථානවල උද්ගතව පවතින ආර්ථික අර්බුදයන් හේතුවෙන් එම සේවා ස්ථානයන්හි සේවයෙහි නිරත වූ අත්‍යවශ්‍යම සේවකයන් හැර අනිකුත් සෙසු සේවක පිරිස ඉවත් කර ඇති හෙයිනි. මෙි හේතුවෙන් නව රැකියා අවස්ථාවන් හා බඳවා ගැනීම් ආයතන ප්‍රධානින් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. ඒ නිසාවෙන් බොහෝ තරුණ පිරිස් සදහා සිය රැකියාවන් අහිමි වී ඇත.

මේ අනුව තරුණ සවිබලගැන්වීම්ට අහිතකර ලෙස මෙම කොවිඩ් වසංගත තත්ත්වය බලපෑම් කර ඇති බව පැහැදිලිය. මේ නිසාවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස සමාජය තුළ සාපරාධි ක්‍රියාවන්ගේ යම් වර්ධනයක්ද දැක ගත හැක. සැබැවින්ම තරුණ සවිබලගැන්වීම් තුළ  ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවය සේම ආබාධිත තරුණ පුද්ගලයන් කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් වර්තමානයේ වන විට කොවිඩ්‍ 19  හේතුවෙන් තරුණ තරුණියන් සතු තාක්ෂණ කුසලතා හැකියාව ප්‍රබල අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. දුරස්ථභාවය සංචරණ සීමාවන්  ආදී කාරණාවන් හේතුවෙන් සියල්ල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීම තුළ ඒ සඳහා පවත්නා දැනුම තරුණ තරුණියන්ගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එහෙයින් ඒ සඳහා ඔවුන් දිරි ගැන්වීමට අත්‍යවශ්‍ය කාරණයකි.  එහිදී  කාන්තාවන් සවිබලගැන්වීම  කෙරෙහිද වැඩි අවධානයක්  ලබා දිය යුතුය. මන්ද යත් පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ තාක්ෂණික කුසලතාවයන් පිළිබද දැනුම තරමක් අවම වන නිසාවෙනි.

මේ අනුව වර්තමානය වන විට කොවිඩ් 19 හමුවේ තරුණ සවිබලගැන්වීම යන්න අභියෝගයකට ලක්ව ඇති බව ඉහත කරුණු ඔස්සේ සනාථ වේ. එහෙයින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයන් සහ වැඩසටහන් සකස් කිරීම අත්‍යවශ්‍යතාවයක් බවට පත්ව ඇති අතර එහිදී  කුසලතා සංවර්ධනය පමණක් නොව ඔවුන්ගේ මානසික පීඩා උදෙසාද ආමන්ත්‍රණය කරමින් තරුණයන්ගේ ජීවන  තත්ත්වය ඉහළ නංවමින් යහපත් අනාගතයක් නිර්මාණයෙහිලා සවිබලගැන්වීම සිදුකළ යුතුය. එහෙයින් තරුණ සවිබල ගැන්වීම යන්න සමාජයකට අත්‍යවශ්‍ය වන්නකි. මන්දයත් තීරණ ගැනීමේ  ක්‍රියාවලියෙහි අනාගතය තරුණයන් වන නිසාවෙනි.

References

T., & T. (2020a, August 9). Giving youth a voice. The Morning – Sri Lanka News. https://www.themorning.lk/giving-youth-a-voice/

U. (2020b, February 19). What is Youth Empowerment? and What is importance? – Unnatiblr. Medium. https://medium.com/@unnatiblr123/what-is-youth-empowerment-and-what-is-importance-ec3415b1c865

About the Author:

Share This Entry

Array