Blog

කෝවිඩ්-19 වසංගතය පැතිරයාමේ සන්දර්භය තුළ සෞඛ්‍ය ආරක්ෂාවට ඇති අභියෝග

May 07, 2021

0

වර්තමාන වන විට කෝවිඩ් වසංගතයත් සමඟ සෞඛ්‍ය සුරක්ෂණය ගෝලීය වශයෙන් දැඩිව අභියෝගයන් හට මුහුණ දෙන ලදී. එය සෞඛ්‍ය සුරක්ෂණයට පමණක් නොව සමස්ථ මානව සුරක්ෂණයට බලපෑම් ඇති කරයි. මානව සුරක්ෂණය යනු මානව අයිතියකි. සෞඛ්‍ය ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් මානව සුරක්ෂණය හදුනා ගතහොත්, මානව සුරක්ෂණයේ අවශ්‍යතා ගෝලීය වශයෙන් අවධාරණයට ලක් වනුයේ පශ්චාත් තෘෂ්ණි යුධ සමයේදීය. 1990 පසු රට අභ්‍යන්තරයෙහි ගැටුම් නිර්මාණය වීමත් සමඟ සාම්ප්‍රදායික නොවන ආරක්ෂාව හෙවත් මානව ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය දිනාගනු ලැබුවේය. එසේම බියෙන් නිදහස් වීම, අවශ්‍යතාවයෙන් නිදහස් වීම හා ගෞරුත්වය ලබා ගැනිම සෑම කෙනෙකුගේම මානව සුරක්ෂනය තහවුරු කිරීම උදෙසා අවශ්‍ය සාධකයන් වේ. එහිදී මානව ආරක්ෂාව හා සම්බන්ධ සංරචක හතක් හදුනාගත හැක. එවා නම් සෞඛ්‍ය ආරක්ෂාව, පාරසරික ආරක්ෂාව, පුද්ගලික ආරක්ෂාව, ප්‍රජා ආරක්ෂාව, ආහාර ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව හා ආර්ථීක ආරක්ෂාව වේ.

එහිදී සෑම සංරචකයක්ම එකිනෙකට පරායක්ත වේ. එනම් එක් සංරචකයට බලපෑමක් ඇති වූ විට අන් සංරචකයන්ට ද අඩු වැඩි වශයෙන් බලපෑම් ඇති කරනු ලබයි. එමනිසා කෝවිඩ් 19 වසංගතයෙන් සෞඛ්‍ය සුරක්ෂණයට ප්‍රමුඛව අන් සංරචකයන්ටද අඩු වැඩි වශයෙන් බලපෑම් ඇතිවේ. නමුත් කෝවිඩ් 19 වසංගතය සෘජුව අභියෝගයන් ඇති කරනුයේ සෞඛ්‍ය සුරක්ෂාවටය. සෞඛ්‍ය සුරක්ෂණය යනු නිරෝගිමත් ලෙස තම යහපැවැත්ම ගොඩ නගා ගැනීමයි. ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, අධ්‍යාත්මික වශයෙන් හා සාමාජීය වශයෙන් පුද්ගලයකු සෞඛ්‍ය සම්පන්න වීම සෞඛ්‍ය සුරක්ෂණය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්වචනය කොට ඇත. නමුත් 2019 වර්ෂයේ සිට කෝවිඩ් 19 වසංගතය ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් පැතිරීමත් සමග සෞඛ්‍ය සුරක්ෂණයට එරෙහිව අභියෝග රැසක් නිර්මාණය විය.

කොරෝනා වසංගතය යනු බෝවන රෝගයක් වන අතර එය දළ වශයෙන් මාස තුනක කාලයක් තුළ ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරිණ. කොරෝනා වසංගතය ආසාදිතයෙකු ශාරීරික වශයෙන් මෙන්ම රෝගයත් සමඟ ඇතිවන බිය නිසා, ආසාදිතයකු ලෙස නම් වීමත් සමඟ සමාජයෙන් ඇතිවන බලපෑම් මගින් ද ඔවුන් මානසිකව දුර්වලතාවයට පත්වේ. රෝග පැතිරීමේ මුල් කාලයේ එනම් පළමු රැල්ල තුළ රෝග විනිශ්චය, රෝගය හදුනා ගැනීම, රෝගයට ප්‍රතිකාරයන්, රෝග කළමනාකරණය, මහජන සෞඛ්‍ය සූදානම ක්‍රමවේදය, හදිසි අවස්ථාවන් හොදින් හසුරුවා ගැනීම සහ රෝග පාලනය සදහා ගෝලීය වශයෙන් රාජ්‍ය යන් දැඩි අභියෝග වලට මුහුණ දුන්හ. ඒ වන විට කෝවිඩ් 19 ප්‍රතිකාර කිරීම හෝ කළමනාකරණය කිරීම සදහා නිශ්චිත ප්‍රති වෛරසයක් හෝ එන්නතක් නිෂ්පාදනය කිරීමට නොහැකි වීමත් සමග ගෝලීය මරණ වාර්තාව දැඩි ලෙස ඉහළ ගියේය. බලවත් හෝ සංවර්ධිත රාජ්‍යයක් වූවද එය පාලනය කිරීමේ හැකියාවක් නොපැවතුණේය.

කොරෝනා වසංගතයෙන් දැඩිව බලපෑම් එල්ල කරන තවත් ඒකකයක් ලෙස සෞඛ්‍ය සේවකයින් හදුනා ගත හැක. කෝවිඩ් 19 වසංගතය පැතිරීමට එරෙහිව දැඩිව වෙහෙසෙන පෙරටුගාමීන් ලෙස සෞඛ්‍ය සේවකයින් හැදින්විය හැක. රටක සෞඛ්‍ය සුරක්ෂණයට ධනාත්මක ලෙස බලපාන සම්පත රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයවේ. නමුත් වර්තමානය වන විට හදිසියේ ඇති තත්ත්වය සමග මෙම සෞඛ්‍ය සේවක සේවිකාවන් දැඩිව පීඩාවට පත්ව ඇත. ඔවුන්ට ඉතා ආරක්ෂාකාරි ලෙස වෙස්මුහුණු, අස්වැසුම් සහ පුද්ගලික ආරක්ෂණය සපුරා ගැනීමට ඇති බැවින් ශාරීරික මෙන්ම වෙහෙසට පත්වීම, ආතතිය, මානසික අසමතුලිතාව, මානසික පීඩාව, ආසාදන අවදානම වැඩි වීම, ශාරීරික සෞඛ්‍ය ගැටලු, තම පවුලේ අයගෙන් වෙන් ව සිටීමට සිදුවීම, සමාජ ඇතිවන බලපෑම් නිසාද මානසික පීඩාවට පත්ව ඇති අතර එය රටේ සෞඛ්‍ය සුරක්ෂණයට ද දැඩිව අභියෝගයට ලක්වන හේතු සාධකයක් ලෙස හදුනාගත හැක. එසේ ම සැපයුමට සරිලන සෞඛ්‍ය සම්පත් නොමැතිවීම සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන විශාලතම අභියෝගයකි. එවැනි මාරාන්තික රෝගයක් පාලනය කිරීමට රාජ්‍යකට විශාල වත්කම් හා සම්පත් අවශ්‍ය වේ. නමුත් සෑම රටකටම එවැනි සෞඛ්‍ය සම්පත් හිමිව නොපවති. විශේෂයෙන් රෝහල්, සෞඛ්‍ය සේවකයන්, ප්‍රමාණවත් පරීක්ෂණ උපකරණ නොමැති වීම රටවල් බහුලව මුහුණ දෙන ලද අභියෝගයකි. එම නිසා කොරෝනා වසංගතයට එරෙහිව සටන් කළ හැකි පරිදි සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම කොරෝනා හමුවේ මුල්තැන දිය යුතු දෙන ප්‍රධානතම අභියෝගයක් ලෙස හඳුනාගත හැක.

එසේම ගෝලීය ලෙස පැතිරෙන කෝවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය සුරක්ෂණයට ඇති වෙන අභියෝගයන් එක් එක් රටවල් හි සන්දර්භය මත වෙනස් විය හැක. උදාහණයක් ලෙස සංවර්ධිත රටක් වන නවසීලන්තය ගතහොත් එහි දේශපාලන, සමාජීය හා ආර්ථික සන්දර්භය මත හදිසි ප්‍රතිපත්තිය සෘජුවම තීරණය කිරීමට හැකියාව ලැබුණහ. නවසීලන්ත අගමැතිනි ජර්සින්ඩා ආර්ඩන් කොරෝනා වසංගත පාලනය තුළ සෞඛ්‍ය සුරක්ෂණය තහවුරු කිරීම උදෙසා හදිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවාය. ඒ වන විට නවසීලන්තයේ තුළ කිසිදු කෝවිඩ් රෝගය රෝගියෙකු වාර්තා නොවුනත් චීනය හා ඒ හරහා පැමිණෙන විදේශිකයන් රට තුළ පැමිණීම තහනම් කරනු ලබයි. වැඩි සංචරණ සීමා පනවනු ලැබුවා සේම ඇය විසින් අදියර 4කින් යුක්ත අනතුරු හැඟවීමේ පද්ධතියක් හඳුන්වා දෙන ලදී. එමගින් නවසීලන්ත රාජ්‍ය බොහෝ දුරට රෝග පාලනය සදහා සාර්ථකව මුහුණ දුන් රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ප්‍රශංසාද හිමි කර ගත්තේය.

නමුත් ඉන්දියාව වැනි රටක් ගතහොත් රටේ ඇති දේශපාලන, සමාජිය, ආර්ථික සන්දර්හය මත කෝවිඩ් වසංගත හමුවේ දැඩිව අභියෝගයන් රැසකට මුහුණ දෙමින් සිටිනු ඇත. විශේෂයෙන් එරට දේශපාලන හා සමාජිය සංකිර්ණතා සමඟ සෞඛ්‍ය සුරක්ෂණය උදෙසා හදිසි තීරණ ප්‍රතිපත්ති තීරණ ගැනිම දුෂ්කර විය. කෝවිඩ් පළමු රැල්ල ආරම්භයේ දී ඉන්දියාවේ අගමැති නරේන්ද්‍රසිංහ මෝදි රට තුළ හදිසි අගුලු දැමීම ක්‍රියාත්මක කෙරුවේය. නමුත් එය බොහෝ ජනතාවගේ හා මහ ඇමතිවරුන්ගේ විවේචනයට ලක් විය. හදිසි තත්ත්වය යටතේ කම්කරු ශ්‍රමිකයන් ලක්ෂ ගණනක් ආහාර, නවාතැන් පහසුකම් නොමැතිව විශාල නගරවල ආනාරක්ෂිත තත්ත්වට පත්විය. එමගින් සෞඛ්‍ය සුරක්ෂණයට පමණක් නොව ආහාර, ප්‍රජා, පුද්ගලික සුරක්ෂණය ඇතුළු සමස්ත මානව සුරක්ෂණයම දැඩි තර්ජනයකට ලක්විය. එනම් මෙමගින් ගම්‍යමාන වන්නේ රටම සන්දර්භය මත කෝවිඩ් 19 වසංගත පාලනයට අභියෝග මුහුණ දෙන ආකාරයන්ද වෙනස් වන බවයි.

කෝවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය සුරක්ෂනය දැඩිව බලපෑමට ලක් වන ඇති අතර එය ගෝලීය ගැටලුවකී. එහිදී කලාපයන් අනුව රටකින් රටකට එම රටවල් වල සන්ධර්භය මත සෞඛ්‍ය සුරක්ෂණයට ඇති තර්ජනයන් හා අභියෝගයන් එකිනෙකාට වෙනස් බව නිගමනය කළ හැක. මන්ද මානව ආරක්ෂාව සන්දර්භාභිමුඛ වන අතර කෝවිඩ් 19 වසංගතය පැතිරීමේ සන්ධර්භය මත එහි සෞඛ්‍ය සුරක්ෂණයට ඇති බලපෑමද සන්ධාර්භාභිමුඛ වේ. එසේම කෝවිඩ් 19 වසංගතය නිසා සෞඛ්‍ය සුරක්ෂණයට දැඩිව බලපෑම් කළ නමුදු මානව සුරක්ෂණයේ අනෙකුත් සංරචකයන් අතර ඇති අන්තර්පරායක්තතාව මත සමස්ත මානව සුරක්ෂණය කෝවිඩ් 19 වසංගතය සමග අභියෝගයට ලක්ව ඇති බව අවසාන වශයෙන් නිගමනය කළ හැක.

යොමුව

About the Author:

Share This Entry