Development

ගෝලීය සාමයට හා ආරක්ෂාවට කොවිඩ් – 19 හි තර්ජන.

sugandika

May 07, 2021

0

සංක්ෂේපය.

මෙම පර්යේෂණ ලිපිය තුළ කොවිඩ් 19 වසංගතය ගෝලීය සාමය හා ආරක්ෂාවට තර්ජනාත්මක ය යන්න විමර්ශනය කරමින් රචනා කර ඇති අතර ඒ සඳහා විවිධ පර්යේෂණ වාර්තා,අන්තර්ජාල ලිපි මෙන්ම නිරීක්ෂණයන් තුළින් ද දත්ත ලබා ගන්නා ලදි.මෙම සියලු දත්තයන් විශ්ලේශනය කොට බැලීමෙන් කොවිඩ් වසංගතය ගෝලීය සාමය හා ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී පවතින බව නිගමනය කළ හැකි විය.

හැඳින්වීම.

2019 දෙසැම්බර් මස චීනයේ වූහාන්වලින් ඇරඹි මෙම මාරාන්තික කොවිඩ් වයිරසය එක්වර මුළු මහත් ලෝකයම අඩපණ කරන්නට, ලෝක සාමය හා ආරක්ෂාව බිඳ වැටෙන තත්වයට පත් කරලන්නට සමත් විය.කොවිඩ් රෝගීන් හා කොවිඩ් මරණ අනුපාතය දිනෙන් දින අතිශය සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර මේ වන විට ගෝලීය කොවිඩ් මරණ 2,789,710ක ප්‍රමාණය ද ඉක්මවා ගොසිණි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස 2020 ජනවාරි 30 නම් කරන ලදි.(Adnan&Anwar,2020)

මෙවැනි තත්වයක් ගෝලීය ආපදා තත්වයක් ලෙස හැඳින්විය හැකිය.මෙවැනි තත්වයකදී ලෝකයේ සෑම රටකටම පාහේ සංවර්ධිත,සංවර්ධනය වෙමින් පවතින මේ කුමන රටක වුව සෞඛ්‍ය,ආර්ථික,දේශපාලනමය බිඳ වැටීම් සිදු විය හැකිය.

සාම්ප්‍රදායික නොවන ආරක්ෂාව යටතේ ප්‍රධාන කොට සලකන්නේ පුද්ගල ආරක්ෂාවයි.ඒ අනුව සලකා බලන කල මෙහිදී පුද්ගල ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පැහැදිලි ය.එනම් ගෝලීය ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව තිබේ.

කොවිඩ් වසංගතය ගෝලීය සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව හා එසේ අඩපණ කළ හැකි ආකාරයන් 8ක් ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්  වීඩියෝ සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත් කොට තිබේ.

පර්යේෂණ විධික්‍රම.

මෙහිදී මේ පිළිබඳව පල වී ඇති ශාස්ත්‍රීය ලිපි විමර්ශනය කිරීම හා අන්තර්ජාල ලිපි,පුවත් වාර්තා ආදිය තුළින් දිවිතීයික දත්ත ලබා ගැනීමට ද නිරීක්ෂණය තුළින් ප්‍රාථමික දත්ත ලබා ගැනීම ද සිදු කරන ලදි.

පර්යේෂණ ප්‍රශ්නය.

කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වන්නට වීමත් සමඟ ගෝලීය වශයෙන් අනාරක්ෂිතතාවක් නිර්මාණය වන්නට විය.කොරෝනා වෛරසය නිර්මාණය වීම සම්බන්ධයෙන් ද චීනය හා ඇමරිකාව චෝදනාවට ද ලක් විය.ඔවුන් විසින් සිතා මතා රෝග ආයුධ ලෙස භාවිතා කිරීමක් තුළින් (ජෛව ආයුධ ලෙස) ලෝකය අනාරක්ෂිත තත්වයකට පත් කළේ ද යන සැකය විසින් ජාත්‍යන්තරයේ බොහෝ දෙනා එම දෙපාර්ශවයන්ට ඇඟිලි දිගු කරන්නට විය.කෙසේ වෙතත් වෛරසය ආරම්භ වන්නේ 2019 දෙසැම්බෙර් මස චීනයේ වූහාන් වලිනි.

ප්‍රධානතම අනාරක්ෂිතතාව එල්ල වූයේ ගෝලීය ආර්ථිකයටයි.බොහෝ විචාරකයින් අදහස් දක්වා ඇති පරිදි ප්‍රධාන වෙලඳ භාණ්ඩ මිල පහත වැටීම්,සංචාරක ව්‍යාපාරය ඇතුළු ප්‍රධාන අපනයන සේවා අංශ සම්පූර්ණයෙන්ම අඩාල වීම සිදු විය.ශ්‍රී ලංකාව තුල ද  දැඩි ආර්ථික පරිහානියක් සිදු වී ඇති බව ත් සංචාරක කර්මාන්තයෙන් හා විදේශ ආයෝජනයන්ගෙන් ගලා එන ආදායම් විශාල ලෙස පහත වැටී ඇති බව ත් මහ බැංකු වාර්තා හෙලි කර තිබේ. 2020 මාර්තු මස ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 70.8%කින් අඩු වී තිබේ.(රණවීර,2020)

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක් නොව ඇමරිකාව චීනය වැනි සංවර්ධිත රටවල පවා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය.ලොව පුරා නිශ්පාදන කාර්යය,කර්මාන්ත අංශ බිඳ වැටීමකට ලක් වීම,තව දුරටත් රැකියා වියුක්තිකයන් මිලියන ගණනක් ලෝකය පුරා නිර්මාණය වීම තුළින් දරිද්‍රතාවය හා සාගතය ඉස්මතු විය හැකිය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) 21දා අනතුරු ඇඟවූයේ, හදිසි ක්‍රියාමාර්ගයක් හා අරමුදල් නොමැතිව මිලියන සිය ගණනක් ජනතාව සාගින්නෙන් පෙලෙනු ඇති බවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිලියන ගනනක් මිය යා හැකි බවත්ය.(ෂාවුල්,2020)

II වන ලෝක සංග්‍රාමයට පසුව ලෝක ආර්ථිකයට එල්ල වූ විශාලම පසුබෑම මෙය බවට මත පල වේ.මෙම ආර්ථික බලපෑම් අඩු සංවර්ධිත රටවල විශාල ආතතියක් ඇති කළ හැකිය.එතුළින් හට ගන්නා සමාජ නොසන්සුන්තාවයන් ප්‍රචණ්ඩත්වය වැඩි වීමට හේතු විය හැකිය.

වෛරසයෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍යය දැඩි වෛද්‍ය සත්කාර පහසුකම් ලොව පීඩිත රටවලට නොමැත.අප්‍රිකාවේ හොඳම නගරවල ප්‍රතිකාර සඳහා වියදම් කල හැකි අයට පවා රෝගීන් 10,000ක් සඳහා වෛද්‍යවරුන් සිටින්නේ දෙදෙනෙක් පමණි.(ෂාවුල්,2020) පැපුවා නිවුගිනියාවේ ද රෝගීන් මිලියන 9කට වෛද්‍යවරු සිටින්නේ 500ක් පමණි.

මේ අනුව ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙලෙන රටවල ජනයාගේ ආරක්ෂාව අතිශය පහත මට්ටමකට වැටී තිබෙනු දැකගත හැකිය. මේ තුළ ඇති වන වාර්ගික අසමානතා හේතුවෙන් සමාජ ගැටුම් ඇති වීමේ ප්‍රවණතාවකට ද ඉඩකඩ සැලසීමේ අවධානමක් පවතී. එමෙන් ම ලෝකයේ එක් පාර්ශවයක සෞඛ්‍ය දැඩි අනාරක්ෂිත තත්වයකට පත් වීම තුළ මිනිසාගෙන් සම්ප්‍රේෂණය වන රෝගයක් වශයෙන් කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීමේ හැකියාව ද ගිලිහී යා හැකිය.

වසංගතය ස්ත්‍රී – පුරුෂ සමාජභාවයේ අසමානතාවයන් ද උග්‍ර කර තිබේ. ගෘහස්ථ හිංසනය භයානක ලෙස වැඩි වීමක් සිදුව ඇති අතර මේ වාතාවරණය තුළ අපයෝජනයන් වාර්තා කිරීම,රැකවරණය පැතීම හා යුක්තියට ප්‍රවේශ වීම වින්දිතයන්ට වඩාත් දුශ්කරය.( Relief web,2020)  

මෙම වසංගතයේ ආරම්භයත් සමඟම ලෝකය පුරා ව්‍යාප්තව තිබූ බොහොමයක් සාම ක්‍රියාවලීන් ද අඩපණ වී තිබේ. සමාජ දුරස්ථකරණයන්,නිරෝදායන ක්‍රියාවලීන්,රටවල් හුදකලා බවට පත් කිරීම් ආදිය තුල මෙලෙස ක්‍රියාත්මක වෙමින් පැවති සාම ක්‍රියාවලි ඇනහිටීම සිදු විය. මේ තුලින් ගැටුම් නිරාකරණ උත්සාහයන්ට ද බාධා ඇති වී තිබෙන අතර බොහෝ රජයන් වසංගතය කෙරෙහි අවධනය යොමු කර ඇති හෙයින් ඇතැම් විට එය ත්‍රස්ත කණ්ඩායම්වලට උපායශීලී වාසිදායක තත්වයක් නිර්මාණය කරනවා විය හැකිය.

උදාහරණ ලෙස සෝමාලියාවේ අල් ෂබාබ් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර කොවිඩ් 19 එහි ක්‍රියාකාරීත්වයට සැලකිය යුතු බලපෑමක් එල්ල නොකරන අතර ආරක්ෂක අංශ වසංගතය කෙරෙහි අවධානය යොමු කරද්දී අල් ෂබාබ් ප්‍රචණ්ඩත්වය වැඩි කිරීමේ අවධානමක් පවතී.(Relief web,2020) රාජ්‍යතාන්ත්‍රිකභාවයන්,මැදිහත්වීම් ආදී බොහෝ සාම ක්‍රියාවලි ද වසංගතය හමුවේ නිර්මාණය වුණු සංචරණ සීමා හේතුවෙන් බිඳ වැටී තිබේ.

එමෙන් ම වසංගතය හේතුවෙන් මැතිවරණ කල් දැමීම නිසා දේශපාලන ආතතීන් හට ගත හැකි අතර විවිධ මානව හිමිකම් අභියෝග අවුළුවාලීමට උග්‍ර කිරීමට ඒවා සමත් විය හැකිය.(Pubjie,2020) සෞඛ්‍ය අර්බුදය කළමනාකරණය කිරීමට දරන උත්සාහය හේතුවෙන් මෙය බොහෝ රටවල නිර්මාණය වී පවතින ගැටලුවකි.

නිගමනය.

මිනිසුන්ගේ නිදහසට හා අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල කරන ලද මෙම කොවිඩ් ව්‍යයසනය; තව දුරටත් ගෝලීය සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමට දැඩි තර්ජනයක් වී ඇති බව මින් නිගමනය කළ හැකිය. හැකි ඉක්මණින් මෙම අනාරක්ෂිත තත්වය නිමා කිරීමට නම්; ගෝලීය වශයෙන් මෙම රෝගය තුරන් කිරීමට පියවර ගත යුතුව තිබේ.සියලු පුරවැසියන් එම වැළැක්වීමේ ක්‍රියාවලිය සඳහා තම වගකීම ඉටු කළ යුතු ය.

මූලාශ්‍ර.

රණවීර,දැහැමි.(2020.07.08).2020 ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය:කොරෝනා වෛරසය හමුවේ ‘පල්ලම් බසින’ ශ්‍රී ලංකාවේ ආර්ථ්කය.BBC සිංහල News. https://www.bbc.com/sinhala/sri-lanka-53315248

ෂාවුල්,ජීන්.(2020) කොවිඩ්-19 වසංගතය “බයිබල් කථාවල සඳහන් පරිමානයේ සාගත” ඇති කරයි යනුවෙන් ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.world socialist website.https://www.wsws.org/si/articles/2020/04/24/wfow-a24.html

ෂාවුල්,ජීන්,(2020). කොවිඩ් – 19 වසංගතය ලෝකයේ දුප්පත්ම රටවලට බරපතල තර්ජනයක් එල්ල කරයි. world socialist website. https://www.wsws.org/si/articles/2020/04/10/poor-a10.html

Adnan,Muhammad.&Anwar,Kainat.(2020).Online Learning amid the COVID-19 Pandemic: Students’ Perspectives.Journal of pedagogical sociology and psychology.Pakistan. https://eric.ed.gov/?id=ED606496

Pubjie,Erin.(2020). Covid-19 as a threat to international peace and security: The role of the UN Security Council in addressing the pandemic.Blog of the European journal of international law. https://www.ejiltalk.org/covid-19-as-a-threat-to-international-peace-and-security-the-role-of-the-un-security-council-in-addressing-the-pandemic/

As COVID-19, Global Fragilities Threaten Peace, Shared Well-Being, Efforts Must Focus on Saving Lives, Buttressing Security, Secretary-General Tells Security Council.relief web.(2020). https://reliefweb.int/report/world/covid-19-global-fragilities-threaten-peace-shared-well-being-efforts-must-focus-saving

About the Author:

sugandika

R.G.Sugandika Waidyarathne

I am an undergraduate at the University of Colombo and I'm in my final year. My study scope is Conflict Resolution and Peace. Currently, I am working as a research intern at International Youth Alliance for Peace. I am very interested in peacebuilding, human rights, and social works.

Share This Entry

Array