Blog

පශ්චාත් සිවිල් යුධ සමයේ ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධන කිරීම සදහා එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලියෙහි සාර්ථකභාවය

May 11, 2021

0

සාරාංශය

දශක 3 ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකා සිවිල් යුද්ධය 2009 මැයි 19 වන දින එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමත් සමග නිමා කළහ. ප්‍රචණ්ඩත්වය තුරන් කරමින් ඍණාත්මක සාමය දිනාගත් රජයේ මීලග ප්‍රධානතම අභියෝගය වූයේ පශ්චාත් යුධ තත්ත්වය තුළ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය මුල්කර ගනිමින් රට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ගොඩනැංවීමයි. එහිදී ශ්‍රී ලංකා රජය කුරිරු ත්‍රස්තවාදය නිසා පීඩාවට පත්වූ ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීම සදහා විශාල වැඩපිළිවෙළක් දියත් කළේය. නමුදු භෞතික වශයෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට රජය සමත් වූවද ධනාත්මක සාමය හා සංහිඳියාව ගොඩ නැංවීමට රජය තවමත් අපොහොසත් වී ඇත. සාමය හා සංහිඳියාව ගොඩනැංවීම සංකීර්ණ ක්‍රියාවලියකි. සාමය හා සංහිඳියාව ගොඩනැංවීමේදි යටිතල පහසුකම් ගොඩනැගීම, මූලික පහසුකම් සැපයීම, කම්පන උපදේශන සේවා සැපයීම, සමාජ සවිබල ගැන්වීම වැනි එක් එක් සංරචකයන් ආමණ්ත්‍රණය කළ යුතුව ඇත. නමුදු ශ්‍රී ලංකා රජය නිවැරදි සංරචකයන්ට ආමණ්ත්‍රණ කරනවාද යන්න ගැටලුවක් පැන නැගෙනු ඇත. සාමය ගොඩනැංවීමේදි සෑම ජන කොට්ඨාසයකගේම අවශ්‍යතා පරිපූර්ණ විය යුතුයි. එහිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබදතා යහපත් ලෙස පවත්වාගෙන රටක් ලෙස සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා එක්සත් ජාතීන් හා අනුබද්ධ සංවිධාන වල සහය රජයට ලැබුණි. මෙම පර්යේෂණ ලිපිය මඟින් අවධාරණය යොමු කරනුයේ එක්සත් ජාතීන් විසින් සාර්ථකව පශ්චාත් සිවිල් යුධ සමයේ ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධන කිරීම සදහා දායකත්වය සැපයු අයුරුය.මෙහිදි ශාස්ත්‍රීය ලිපි, ව්‍යාපෘති වාර්තා යන ද්විතීයික දත්ත පදනම් කරගනිමින් පශ්චාත් සිවිල් යුධ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලියෙහි සාර්ථකභාවය විශ්ලේෂණාත්මක ලිපියක් මෙම පර්යේෂණ ලිපිය තුලින් සපයනු ඇත.

ප්‍රධාන වචන -: සංහිඳියාව, ප්‍රතිසන්ධානය, ඍණාත්මක සාමය, ධනාත්මක සාමය, ව්‍යුහාත්මක සාමය, සාමය ගොඩනැංවීම.

හැඳීන්වීම

දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදීන් අතර පැවති සිවිල් යුද්ධය ආසියාවේ දිගුකාලනී සිවිල් යුද්ධයක් ලෙස හඳුනා ගනු ලබයි. ගැටුමෙහි ප්‍රධානතම මූල හේතුව ලෙස ජනවාර්ගික ආතතින් ලෙස හඳුනා ගතහැක. යටත්විජිතකරණයට ලක්වූ බොහෝ ජනවාර්ගික රටවල් හි ඇතිවන බෙදුම්වාර්ගික ඝට්ටනයක් නිදහසෙන් පසු ශ්‍රී ලංකාව අභ්‍යන්තරයෙහි ද නිර්මාණ විය. සිංහල හා සුළුතර දමිළ ජනයා අතර මතභේදයන්, වාර්ගික ආරවුල් ක්‍රමයෙන් උද්ගත විය. මෙම ආතතීන් පසුව දිග්ගැස්සුණු ප්‍රචණ්ඩකාරී සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය විය. මෙම මූල හේතූන් පදනම් කොට එල්.ටී.ටී.ඊය නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඊලාම් රාජ්‍යයක අවශ්‍යතාවය දෙමළ ජනයා තුළ ඇති කරවීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න කාලයක් බිහිසුණු ත්‍රස්ත ක්‍රියා මෙරට අහිංසක සිවිල් වැසියන්ට අත්විඳීමට සිදු විය. ජාතිහේද නොසලකා බොහෝ අහිංසක සිවිල් වැසියන්ගේ මානව සුරක්ෂණය, මානව හිමිකම් උල්ලංඝනය විය. ශ්‍රී ලංකා රජය ද ත්‍රස්තවාදයට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර දියත් කළේය. යුධමය කාල පරිච්ඡේදය තුළ වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස ද්විපාර්ශවය අතර සාම සාකච්ඡා පැවැත්වූද ඒවා සියල්ල අසාර්ථක විය. අවසානයේ ශ්‍රී ලංකා රජය ඇතුළු හමුදාව විසින් මානුෂික මෙහෙයුම දියත් කරමින් 2009 මැයි 19 වන දින එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරමින් නිල වශයෙන් නිදහස අත්පත් කරගත්තේය. රජයේ මීළඟ ප්‍රධානතම අභියෝගය වූයේ පශ්චාත් යුධ තත්ත්වයට මුහුණ දීමයි. පශ්චාත් යුධ තත්ත්වය යනු ප්‍රචණ්ඩකාරී ගැටුමකට පසුව හටගන්නා තත්ත්වයකි. එය ආර්ථිකය වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම් සැපයීම හා බිදුනු සම්බන්ධතා නැවත ගොඩනැගීම සදහා වූ අවධියකි (pannilage,2017). භෞතික, ආර්ථික, මානසික, සමාජීය හා සංස්කෘතික වශයෙන් රට ඒ වන විට පිරිහිව පැවතිනි. ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ පිරිවැය ඩොලර් බිලියන 200 ක් ලෙස ගණනය කොට ඇත (Tilakaratna & Siriwardena 2013). 2009 මුල් භාගය වන විට උතුරු ප්‍රදේශයේ ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් අභ්‍යන්තර වශයෙන් අවතැන් විය (Bajoria, 2009). විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල වැසියන් මහත් සේ පීඩා වින්දහ. යුද්ධය නිසා මානසික ආතතීන්ට, කම්පනයට පත් වීම, සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම, අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම, සංහිඳියාව බිඳවැටීම, සරණාගත තත්ත්වයට පත්වීම යන දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ අතර රජය විසින් සාමය ගොඩනැංවීම උදෙසා භෞතික සංවර්ධන ව්‍යාපෘතින් පශ්චාත් යුධ සමයේ මුල් භාගය කඩිනමින් ක්‍රියාත්මක කළේය. උදාහරණයක් ලෙස උතුරු වසන්තය හා නැගෙනහිර නවෝද්‍ය හැදින්විය හැක. නමුදු නැවත බියෙන් තොරව ජීවත් වීම, අවශ්‍යතාවයන්ගෙන් නිදහස් වීම හා ගෞරවයෙන් ජීවත් වීම මඟින් මානව සුරක්ෂණ තහවුරු කිරීමට, සංහිදියාව ඇති කිරීමට රජය යම් ලෙස අපොහොසත් වු අතර ව්‍යුහාත්මක මූල හේතූන්ට ආමන්ත්‍රණය කොට සංහිඳියාව හා ධනාත්මක සාමය ස්ථාපිත කළ යුතුය. ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් විධිමත් සංහිඳියාව හා සාමය ප්‍රවර්ධන කිරීමේ ක්‍රියාවලි දියත් කළ අතර එම ප්‍රවර්ධන කාර්යයයේ සාර්ථකත්වයට පත් වූයේ කෙසේද යන්න මෙමඟින් විමර්ශනය කරන ලදී.

පර්යේෂණ ගැටලු

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයෙන් පසු රට ප්‍රතිසංවිධානය කිරීමේ ලා සංහිඳියාව හා සාමය ප්‍රවර්ධනය කිරීම මූලික අවශ්‍යතාවක් වූ අතර පශ්චාත් යුද සමයේ එක්සත් ජාතීන් විසින් සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙරට තුළ ගත් ක්‍රියාමාර්ගයන්හි සාර්ථකභාවය කෙසේද යන්න මෙහි පර්යේෂණ ගැටලුව බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධන කිරීම සදහා එක්සත් ජාතීන්ගේ කාර්යය

මූලිකවම එක්සත් ජාතීන්ගේ සංවිධානය, සංවර්ධන හවුල්කරුවන් සහ ශ්‍රී ලංකා රජය සමග එක්ව සාමය ගොඩනැගීමේ ප්‍රමුඛතා සැලැස්මක් ඉදිරිපත් කළහ. එහි මූලික පරමාර්ථය නම් මුල් කාලනී විශ්වාසය ගොඩනැගීම තුළින් ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමය. එහිදී සාමය ගොඩනැංවීමේ දී සංක්‍රාන්තික යුක්තයි, සංහිඳියාව යහපාලනය සහ නැවත පදිංචි කරවීම සහ කල්පවත්නා විසදුම් මෙම සැලැස්මෙහි ප්‍රමුඛතාවයන් බවට පත් විය. ගැටුමට ගොදුරු වූවන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අපයෝජනයන්ට ගොදුරු වූවන්, අවතැන්වීමෙන් පීඩාවට පත්වූ පවුල්, ආන්තික හා බැහැර කරන ලද කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව ප්‍රමුඛතා ව්‍යාපෘතියේ ප්‍රධාන ප්‍රතිලාභීන් බවට පත්විය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්ෂණික ප්‍රතිචාර පහසුකම් ව්‍යාපෘතින්ට මූලිකත්වය ලබාදුන් අතර උදාහරණ ලෙස නැවත පදිංචි කරවීම තුලින් ජනතාවගේ දුක්ගැනවිලි විසදීම, උතුරු පරිපාලන සහ නැගෙනහිර පළාත් පරිපාලන වෙත ඉලක්ක ගත තාක්ෂණික සහය තුලින් ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන ප්‍රයත්නයක් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට සහය වීම ගතහැක. ඒවගේම බොහෝ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනයා නැවත පදිංචි කරවීම, නිවාස ඉදිකිරීම් සදහා පහසුකම් ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත. එහිදී එක්සත් ජාතීන් හා ඔවුන්ගේ අනුබද්ධිත එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහා කොමිසම සමඟ එක්ව මෙම ව්‍යාපෘතීන් දියත් කොට ඇත. එහිදි සාමය ගොඩනැගීම හා ප්‍රවර්ධනයේදී ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතා මුලින්ම විමර්ශනය කළ යුතු වේ.

1990 දී සාමය සදහා වූ න්‍යාය පත්‍රය මගින් සාමය ගොඩනැංවීම යනු නැවත ගැටුමක් ඇති නොවීම සදහා ගන්නා වූ ක්‍රියාමාර්ග සාමය ස්ථාවර කිරීමට ක්‍රියාවන් සහ ගැටුම් ඇති වීමට තිබෙන අස්ථාවර තත්ත්වයන් වැළැක්වීම ලෙස නිර්වචනය කොට ඇත. අප නිවැරදි අවශ්‍යතාවන්ට ආමණ්ත්‍රණය නොකිරීම තුළින් නැවත ගැටලු ඇතිවිය හැක. මන්ද ශ්‍රී ලංකාව තවමත් සාමය ප්‍රවර්ධනය කරන රාජ්‍යක් වන අතර තිරසාර සාමය අත්පත් කොට ගෙන නොමැත. නමුත් එක්සත් ජාතීන්ගේ මෙම ව්‍යාපෘතීන් බොහෝ දුරට සාර්ථක ලෙස ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ආමණ්ත්‍රණය කිරීමට සමත් වී ඇත. සාමය ප්‍රවර්ධනය කිරීමට මූලික වශයෙන් ඔවුන් ස්ථිර සාමකාමි වපසරියක් නිර්මාණය කර අවශ්‍යතාවලින් නිදහස් කළ යුතු අතර ඒ පිළිබඳ එක්සත් ජාතීන් විසින් වැඩි අවධානයක් යොමු කර ඇත.

එසේම තවදුරටත් එක්සත් ජාතීන් විසින් වගවීම සහ සංහිඳියාව රට තුල ප්‍රවර්ධනය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල යෝජනාව ඉදිරිපත් කළේය. මෙම යෝජනව මගින් මූලික දුක්ගැනවිලි සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබද පුළුල් ආමන්ත්‍රණයක් සහ විමර්ශනය කිරීමට සමත් විය. තවදුරටත් යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නඩු විභාග කිරීමට උදෙසා දෙමුහුන් අධිකරණයක් යෝජනා කර ඇති අතර එක්සත් ජාතීන් සිවිල් ජනතාව වෙනුවෙන් වගවීම හා යුක්තිය ස්ථාපිත කිරීමට ගත් ප්‍රයත්නයක් ලෙස ගිණිය හැක. මන්ද යුධ තත්ත්වය මගින් වඩා පීඩාවට හා අසාධාරණයට ලක්වූ සිවිල් ජනතාව යුක්තිය ඉටු කිරීමෙන් නැවත යුධ තත්ත්වයක් ඇති නොවීම යන මානසික තත්ත්වයක් ඔවුන් තුළ ඇති කළ යුතුය. එහිදි මූලික වශයෙන් කම්පන සුව කිරීමේ සේවා සැපයීම සිදුකල යුතු අතර එයට වඩා උපකාරී වනුයේ යුක්තිය පසදලීම හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමය. එහදි අපට ගම්‍යමාන වන්නේ පශ්චාත් යුධ තත්ත්වය තුළ වගවීම හා සංහිඳියාව සාමය ප්‍රවර්ධන උදෙසා මූලික සාධකයන් වන අතර එක්සත් ජාතීන් විසින් එම කාර්යය සාර්ථක ව සිදු කිරීමට බොහෝ සෙයින් සමත් වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛතා සැලැස්ම මගින් අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීමට ඔවුන් පොහොසත් විය. එහිදී සංක්‍රාන්තික යුක්තිය පිළිබද රජයේ කැපවීම ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක්, සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස මහජනතාවගේ දායකත්වය, තාක්ෂණික සහය ලබාදීම තුළින් රාජ්‍ය අතර ක්‍රියාවලින් ශක්තිමත් කිරීම හා නැවත පදිංචි කරවීමට සමත් වී ඇත. එහිදී මූලිකවම අවතැන් වූ උතුරු හා නැගෙනහිර පළාත් වල ජනතාවගේ අවශ්‍යතාවයන් ආමන්ත්‍රණය කිරීමට සමත් වී ඇති අතර ජනතාවන්ගේ ප්‍රතිචාර වුයේ එක්සත් ජාතීන් විසින් ඔවුන්ට බොහෝ උපකාර බව කළ බවත් එබැවින් ඔවුන් තවදුරටත් අවතැන් නොවුවන් බවය. විශේෂයෙන් යුද්ධයෙන් පසු තමන්ගේ ප්‍රධානතම අභිලාෂය වන්නේ ඔවුන් ස්ථිර තත්ත්වයට පත්වීම සහ ආර්ථික වශයෙන් ශක්තිමත් වීමය. ඔවුන් යුද්ධයට පෙර හොඳ ජීවන තත්ත්වයක් ගතකර සිටින්නට පුළුවන්ය. එම නිසා පශ්චාත් යුධ තත්ත්වයේදී ඉතා කඩිනමින් ඔවුන් නැවත යථා තත්ත්වයට පත්වීමට කටයුතු කළ යුතු වේ. ඒ අතර විවිධ කණ්ඩායම් අතර ධනාත්මක සබඳතා සහ අන්‍යෝන්‍ය අවබෝධය සාමකාමී වීමට දායක විය.

නිගමනය

එක්සත් ජාතීන් විසින් දියත් කළ බහුවිධ ව්‍යාපෘති තුළින් විශේෂයෙන් සාමය ගොඩනැගීමේ ප්‍රමුඛතා සැලැස්ම, ක්ෂණික ප්‍රතිචාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනාව හරහා සංක්‍රාන්තිය යුක්තිය, වගවීම, නැවත් පදිංචි කරවීම ඇතුළු ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කිරීම් සිදු කිරීම හරහා සාමය හා සංහිඳියා ප්‍රවර්ධනය සාර්ථක ලෙස සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ක්‍රියාදාමය සාර්ථක වී ඇත. එක්සත් ජාතීන් විසින් ඔවුන්ගේ ධාරිතාව හොඳින් හදුනාගෙන ඇති අතර ප්‍රමුඛතා සැලැස්ම කළමනාකරණ හා සම්බන්ධීකරණ, අධීක්ෂණය හා ඇගයීම්, අවධානම් කළමනාකරණය විධිමත්ව සාමය හා සංහිඳියාව සංවර්ධන සදහා උපයෝගී කර ඇත.

සාමය ගොඩනැගීම, සාමය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීම කෙටිකාලීන ක්‍රියාවලියක් නොවේ. ඉහත සඳහන් කළ ලෙස අධීක්ෂණය ඇගයීම, ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම, ක්‍රියාකාරකම් අනුව ඊට අදාළ දෘෂ්ටිකෝණයෙන් විශ්ලෙෂ්ණය කළ යුතුය. ශ්‍රී ලංකා රාජ්‍ය සාමය ගොඩනැගීමේ කාර්යයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට වඩා පසුගාමීත්වයක් පෙන්නුම් කර ඇති අතර එක්සත් ජාතීන් විසින් සාමය හා සංහිදියාව ක්‍රියාත්මක කිරීමේ දී සාර්ථකත්වයක් අත්පත් කොට ගෙන ඇති බව අවසාන වශයෙන් නිගමනය කළ හැක.

යොමුව

  • Bajoria,J.(2009,May18). The Sri Lankan Conflict. https://www.cfr.org/backgrounder/srilankan-conflict.
  • Pannilage, U. (2017). (publication). An Introduction to the Post-war Peace Building and Development in Sri Lanka. University of Ruhuna. https://www.researchgate.net/publication/315068397_An_Introduction_to_the_Postwar_Peace_Building_and_Development_in_Sri_Lanka.
  • Tilakaratne, K. M., & Siriwardena, W. A. (2013, July). Former Foes Restore War-torn Sri Lankan Infrastructure and Livelihood Together. ADB Knowledge Showcases. https://www.adb.org/sites/default/files/publication/30303/restore-war-torn-sri-lankaninfrastructure.pdf.
  • United Nations. (2017a). SRI LANKA PEACEBUILDING PRIORITY PLAN. Unhabitat. https://lk.one.un.org/wp-content/uploads/2017/01/PPP-17-April-2017.pdf
  • United Nations. (2013). UN-Habitat Sri Lanka | Catalytic Support to Peacebuilding in Sri Lanka. unhabitat. https://unhabitat.lk/projects/past-projects/catalytic-support-to-peacebuilding-in-sri-lanka/
  • Wakkumbura, M., & Wijegoonawardana, N. (2017, november). A_Study_on_Reconciliation_of_Post-War_Peacebuilding_in_Sri_Lanka. researchgate. https://www.researchgate.net/publication/343049837_A_Study_on_Reconciliation_of_Post-War_Peacebuilding_in_Sri_Lanka

About the Author:

Share This Entry

Array