Blog

සමාජ මාධ්‍යයට කොටු නොවු තාරුණ්‍යයේ හඬ

අවුරුදු 18 ට වැඩි තරුණ ජනතාවගෙන් 50% වඩා වැඩි පිරිසක් අද වන විට සමාජ මාධ්‍ය භාවිතයට ගොදුරු වී තිබේ. ඇමරිකාව විසින් ලෝකයේ තරුණ ප්‍රජාව ආකර්ෂණීය ලෙස රදවා තබා ගැනීමට නිර්මාණය කර ඇති මෙම සමාජ මාධ්‍ය වර්ධනයත් සමඟ ගෝලීයකරණයේ පුළුල් පරාසයන් තවදුරටත් සංකීර්ණ වන්නට විය. මෙකී සන්නිවේදනයේ ආශ්චර්ය ලෝකයම මවිත කරමින් සිටියදී තරුණ ප්‍රජාව සමාජ මාධ්‍ය තුළ ප්‍රචණ්ඩ අන්තවාදය පැතිරවීමේ අපකීර්තිය ද දිනා ගෙන තිබේ.

සමස්ත තරුණ ප්‍රජාව මේ සඳහා දායක නොවුවත් අදහස්  සහ තොරතුරු ක්ෂණිකව ග්‍රාහක ගත කිරීමේ නියැලී සිටින සමාජ මාධ්‍යයේ රිංගා යාමට ඇති සියලූ අවකාශයන් ඉතාමත් ඵලදායි ලෙස යොදා ගනිමින් ආගම් අතර, ජාතීන් අතර, කුලයන් නතර පමණක් නොව කාන්තාවන් සම්බන්ධව මෙන්ම, රටේ පවතින ඇතැම් අර්බුදයන් සම්බන්ධව ද ව්‍යාජ මට්ටමේ පුවත් හාස්‍යජනක ආකාරයෙන් ඉදිරිපත් කරමින් රට තුළ නැති අර්බුදයන් නිර්මාණය කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කිරීම ඉතාම කනගාටු සහගත තත්වයකී.

තාක්ෂණයේ ඇති සුමට තැන් වඩා හොඳින් ග්‍රහණය කරගනිමින් ප්‍රචණ්ඩත්වය සිදු වන ආකාරයටත් සමාජය තුළ ගැටුම් නිර්මාණය වන ආකාරයට මෙන්ම සමාජ පද්ධතිය තුළ අනවශ්‍ය නොසන්සුන්තාවක් ඇති වන ආකාරයට භාෂාව භාවිතා කිරීමට ඇතැම් තරුණ සමාජමාධ්‍ය ක්‍රියාකරුවන් උත්සහ කර තිබීම අද වන විට සුලබ දසුනකි.

මොහොතක් සිතන්න…

ඔබට මීට වසර කිහිපයකට පෙර ඇති වූ පාස්කු ප්‍රහාරය මතක ඇතුවාට කිසිදු සැකයක් නැත. පැයකටත් නොඅඩු කාලයක් තුලදී ජීවිත දහස් ගණනක් ලෙයින් තෙත් කළ වියෝවන්ගෙන් අසරණ කළ බලාපොරොත්තු සිතුම් පැතුම් සියල්ල එක් මිනිත්තුවකින් අවසන් කළ එකී කෲර ව්‍යසනය අවස්ථාවේදී මෙරට ජනාධිපති විසින් සමාජ මාධ්‍ය අවහිර කරන ලෙස කරන ලද ප්‍රකාශය ලෝකයේ දැඩි කතාබහට ලක් වූ අතර මුහුණු පොතේ හිමිකාරීත්වයේ නියුතු මාක්ස් සකර්බර්ග් මහතා ( Mark Zuckerberg) මෙරටට පැමිණ තත්වය පරීක්ෂාකිරීමට උත්සහා කිරීම පිළිබඳ මතවාදයක් සංසරණය වීමට තරම් මෙම ගැටලුව බලපෑම් සහගත විය. මේ අතර ක්ෂණිකවම ක්‍රියාත්මක වූ තාක්ෂණවේදීන් මෙරට භාෂාවෙන් අන්තවාදී අදහස් පැතිරවීමට නොහැකි වන ලෙස එම මාධ්‍ය වාරණය කරන ලදී.

නමුත් මේ තත්ත්වය තවදුරටත් නිරාකරණය වී නොමැති බව පෙනී යන්නේ අරගලය සමයේදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ තොරතුරු හේතුවෙනි.  තරුණයන් අතර නිතර නිතර ආගම් පිළිබද වෛරී සහගත ප්‍රකාශ, කුලයන් අතර මෙන්ම දේශපාලන සහ පොලිසිය පිළිබද ගැටලු ඇති වන ප්‍රකාශ නිරන්තරයෙන් මුහුණු පොත ආක්‍රමණය කරන්න බව දැකගත හැකිය. එයින් පැහැදිලි වන්නේ තරුණයන් පාලනය කිරීමට වාරණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

“යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මතවාදී, දේශපාලනික හෝ සමාජීය වෙනසක් ඇති කර ගැනීම සඳහා භීතිය, භීෂණය සහ ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත බව තීරණය කර, ඒ අනුව ක්‍රියා කරන්නේ නම්, මෙය ප්‍රචණ්ඩ අන්තවාදයකි.”

(Australian Government )

ඒ අනුව තවදුරටත් තහවුරු වන්නේ ඇතැමුන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉතා වේගයෙන් තොරතුරු විකෘති කරමින් අන්තවාදී ප්‍රචණ්ඩත්වය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි. මෙහිදී අප අවධානය යොමු කළ යුත්තේ වර්තමාන සමාජය තුළ සිටින තරුණයන් මේ ප්‍රචණ්ඩ අන්තවාදයෙන් ගලවා ගත හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙනී. ඒ අනුව තරුණයන් තුළ පවතින කුතුහලය  මෙම අන්තවාදයට ඔවුන් දැඩි ලෙස ග්‍රහණය කර ගැනීමට හේතු වී තිබේ. මාධ්‍ය තුළින් ප්‍රචාරය වන අසත්‍යය ව්‍යාජ තොරතුරු ඉතා වේගයෙන් ග්‍රහණය කරගන්නා තරුණ ප්‍රජාව එහි ඇති සත්‍ය අසත්‍යතාව පිළිබඳව කිසිදු තැකීමකින් තොරව ඒ සියල්ල සත්‍ය යැයි පරිකල්පනය කර ගනිමින් එක් පසෙකින් ප්‍රචණ්ඩත්වයට දොරගුළු විවර කරයි. අනෙක් පසෙන් ඔවුන් ද ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත් වේ.

අවුරුදු 18 ට අඩු තරුණ දරුවන් නම් ප්‍රචණ්ඩ අන්තවාදයේ ගොදුරක් බවට පත් වීමෙන් වලකා ගැනීමේ පූර්ණ අවධානය දෙමාපියන් විසින් සලසා දිය යුතු වූවත් සමාජ මාධ්‍යයේ වර්ධනයත් සමඟ එය ද ඉතාම ගැටළුකාරී වී තිබේ. කෙසේ නමුත් පාසල් දිවිය අවසන් කළ තරුණ ප්‍රජාවට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම ඉතාම දුෂ්කර වී ඇත.

“ඔවුන් ඔබට එම හැඟීම ලබා දෙන බැවින් ඔබට පිටවීම ඇත්තෙන්ම දුෂ්කර කරයි. ඔබ විරුද්ධ වන දේවල් දුටු විට පවා ඔවුන් ඔබව නැවත සම්බන්ධ කර ගනී.” අබ්දුල්, විශේෂඥ උපදේශක.

මාධ්‍ය ආයතන

වර්තමානය වන විට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ද සමාජ මාධ්‍ය තුළ ඉතා ක්‍රියාකාරී කොට්ඨාසයක් බවට පත් වී ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකලාපයද සමාජය තුළ ප්‍රචණ්ඩ අන්තවාදය පැතිර වීමට හේතු වී තිබේ. මේ තත්වයන් විවේචනය කිරීමට හෝ නිසි මාධ්‍ය වාරණ ක්‍රමවේදයක් රජය සතු නොවීමේ උපරිම පල නෙලා ගන්නා මාධ්‍ය ආයතන හාස්‍යජනක ලෙස සමාජ අවධානම ඉහළ යවමින් සිටී.

මීට වඩාත් ආසන්න තත්වයක් ලෙස අරගල සමයේදී එක්තරා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක  නිවේදිකාවකට පොලිසියෙන් එල්ල කළ ප්‍රහාරය පෙන්වා දිය හැකිය. එකී මාධ්‍ය ආයතනය ඒ වන විට ජනතාව සමග ඉතාම කිට්ටු සම්බන්ධතාවක් තිබූ අතර එහි ඵල නෙලා ගනිමින් ඔවුන් සමස්ත පොලිස් ප්‍රජාව සම්බන්ධයෙන්ම වෛරී සහගත වන ප්‍රකාශ දරුණු ලෙස සමාජයට ලබා දෙන ලදී. මෙම තොරතුරු සංස්කරණයකින් තොරව ඔවුන්ගේ මුහුණු පොතේ සජීවීව වාර්තා කල අතර අවසානයේ පොලිසිය හා මහජනතාව අතර ගැටුම් ඇති වීම දක්වා මෙම තත්වය වර්ධනය විය.

මෙම තත්වය ලංකාවට පමණක් ආවේණික තත්වයක් ලෙස සැලකිය නොහැක. ඇමරිකාවේ හිටපු ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ටුවිටර් ගිණුම ද කාලාන්තරයක් තිස්සේ එහි කළමනාකරණ පද්ධතිය විසින්ම අවහිර කිරීමට තීරණය කලේ කොරෝනා සමයේ ඔහු එය භාවිතා කරමින් රට තුළ ප්‍රචණ්ඩත්වය නිර්මාණය කිරීමට ගත් උත්සහය අවම කිරීම ද අරමුණු කරගෙනයි. කෙසේ නමුත් පුද්ගලයෙකුගේ ජීවිතය නැති කරන මට්ටමක් දක්වා මෙය වර්ධනය නොවීමට වග බලාගැනීම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ වගකීමකි.

ඔබ ශ්‍රී ලංකාවේ සිවිල් යුධ කාලයේදී සමස්ත දමිළ ජනතාවටත් පාස්කු ප්‍රහාරය සමයේදී මුස්ලිම් ජනතාවටත් බිය වූයේ ඇයි?
ඔවුන්ව ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කළේ ඇයි?

ඇතැම් පාසල්වල මුස්ලිම් දරුවන්ගේ බෑග අවශ්‍ය ලෙස පරීක්ෂා කරන බවට මාධ්‍ය මගින් නිරතුරුවම වාර්තා කළේ ඇයි?

තත්වය එසේ තිබියදීම එක්තරා වෛද්‍යවරයෙකු විසින් වද සැත්කම් කළ බවට කාන්තාවන් බොහෝ දෙනෙක් ඉදිරිපත්ව සිටියේ ඇයි? සහ ඔබ එය විශ්වාස කිරීමට පෙළඹුණේ ඇයි ?

ඔබ සමාජය තුල සිදුවන ඕනෑම ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් හමුවේ ඉතාමත් අපරික්ෂාකාරී ලෙස එහි ගොදුරක් බවට  පත් වී ඇති බව මෙම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් ඔබටම තහවුරු වනු ඇත. ඒ අනුව සිදුකළ යුත්තේ කුමක්ද?

අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් වන්නේ තරුණ ප්‍රජාවගේ සිතුවිලි සමාජයට යහපත් වන අයුරින් වර්ධනය කළ හැකි ක්‍රමවේදයන් සොයාගැනීමයි. මානසික වෛද්‍යයවරයෙකුට මිනිසෙකුගේ සිත තුල නිතරම මනසට වද දෙන ගැටලුවක් නිරාකරණය කර ගැනීමට උපදෙස් දීමට හැකි වුවද අන්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් මිරිකී සිටින තරුණයෙකු ගලවා ගැනීමේ උපදේශන සේවාව සැපයීමේ හැකියාව තිබුණ ද ඔහු එයට ලක් වීමට ප්‍රථම එයට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඔහුටම පමණයි.

තරුණ පරපුරේ එක් පුරුකක් ලෙස මාගේ අත්දැකීම් අනුව නම් තරුණයෙකු වැඩි කාලයක් අන්තර්ජාලයේ නියැලී සිටීමට ප්‍රධානම හේතුව වන්නේ ඔවුන්ගේ රැකියා විරහිතභාවය, ඔවුන්ට අනාගතය පිළිබද නිසි සැලසුමක් නොවීම, ඔවුන්ට සිදු කිරීමට කිසිදු ක්‍රියාකාරකමක් නොවීම යන ආදි වූ සරල කාරණායි. එම කාරණා වලට නිසි පිළිතුරු සොයාගැනීම හරහා පවතින ගැටළුවට විසඳුම් සෙවීමට උත්සහ කළ යුතුය.

එසේම සමාජ මාධ්‍ය තුළ පවතින සියලු තොරතුරු සත්‍ය ලෙස ග්‍රහණය කර ගැනීමෙන් වැළකී ඒ සම්බන්ධව විචාරාත්මක ලෙස අවධානය යොමු කිරීමට තරුණ ප්‍රජාව තුළ අවබෝධය මෙන්ම පරිකල්පන ශක්තිය නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුය.

ප්‍රචණ්ඩ අන්තවාදය

ප්‍රචණ්ඩ අන්තවාදය නිර්මාණය වීමට මූලික හේතුව වන්නේ අයිතිවාසිකමක් හෝ කිසියම් අනන්‍යතාවයක් උල්ලංඝනය වීම නිසාය. විවිධ අනන්‍යතාවයන් ගෙන් යුතු බහු ජාතික සමාජයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ නිතර නිතර අන්‍යයන් කෙරෙහි සැක මතු වීම සාමාන්‍ය මිනිස් ස්වභාවය තුල සිදුවන ඉතා සරල සිදුවීමකි. ඒ සම්බන්ධව ඉතා හොඳ අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීමට තරුණයන් පෙළඹවිය යුතුය. සාකච්ඡා නිර්මාණය කරමින් ඔවුන්ගේ ගැටලු සාධනීය ලෙස විසඳාගැනීමට තරුණ ප්‍රජාව යොමු කළ යුතුය. මෙය ප්‍රායෝගිකව කළ නොහැකි වුවත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචණ්ඩ අන්තවාදය පතුරුවන්නේ යම්සේද එසේම සමාජය තුළ තරුණයන්ගේ මනස විකෘති නොවන ආකාරය අදහස් පැතිරවීම සිදුකළ හැකි අතර ඒ සඳහා තරුණයන්ගේ අවධානය දිනා ගැනීමට නම් එය ආකර්ෂණශීලී ලෙස ඉදිරිපත් කිරීම සෑම විටම රචකයෙකු සතු වගකීම විය යුතුය.

” පුතේ නුඹ කතිකයෙකු නම් සිතේ ඇති දේ නොසගවා කිව යුතුය. නමුත් නුඹ කලාකරුවෙකු නම් අනෙකාගේ සතුට වෙනුවෙන් නුඹේ වචන කැප කළ යුතුය.”

ඒ අනුව යහපත් ලෙස වචන පරිහරනය කරමින් අනෙකාටත් තමන්ටත් හානියක් නොවන ලෙස සමාජ මාධ්‍ය පරිහරණය තුළින් සමාජ මාධ්‍ය තුළින් ඇති වන ප්‍රචණ්ඩ අන්තවාදය වළකා ගත හැකි වනු ඇත.

BE SEEN BE HEARD

About the Author:

Nelum Sathsarani Rathnayaka

Nelum Sathsarani Rathnayaka

I am a final year undergraduate reading for International Relations (Hons) at University of Colombo. Passionate about researching Human Right Violations and influencing foreign policy determinations.

Share This Entry

Array