Blog

2030; වනවිට ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ ප්‍රජාවට කළ හැකි වෙනස්කම්.

sugandika

May 12, 2021

0

ඉතා දිගු ශ්‍රේෂ්ට ඉතිහාසයකට උරුමකම් කියමින් වසර දහස් ගණනක සංස්කෘතික,සමාජීය,දේශපාලන වෙනස්වීම්,බිඳවැටීම්,ගොඩ නැඟීම්,හැලහැප්පීම් ගණනාවක් අතරින් අප මේ දක්වා ආ ගමන සුළු පටු නොවේ. වසර ගණනක් විවිධ බටහිර ජාතීන්ගේ යදඬු හස්තයන්ට හසු වී; පයට පෑගී බැට කෑ ලාංකිකයන් නැවතත් වසර 30ක් පුරාවට ඇවිළුණු අතිශය අමානුෂික මහා යුධ ගින්නෙන් දැවී හළු වී ගිය හ. ඒ අලු මතින් නැඟී සිට හෙමි හෙමින් දලුලා වැඩෙන ශ්‍රී ලාංකික ප්‍රජාව; අද වන විට මේ පිය නඟමින් සිටින්නේ නිවැරදිම මානයකට ද? ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඔබ මොහොතකට නැවතී ඔබේ විමර්ශනාත්මක චින්තනය අවදි කළ යුතු කාලය එළඹ තිබේ. රටේ තරුණ ප්‍රජාවේ බුද්ධියේ දෙනෙත් විවර විය යුතු කාලය එලඹ තිබේ.

         2015 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වසර 15ක් සඳහා වූ “තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය”(2030 දක්වා) හඳුන්වා දෙන්නේ; පරමාර්ථ 17ක් මූලික කර ගනිමිනි. මිහිමත කුසගින්න හා දිලිඳුකම තුරන් කිරීම, ලෝකවාසීන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපනය නඟා සිටුවීම,සමානාත්මතාව තහවුරු කිරීම හා දේශගුණික විපර්යාස හමුවේ ලෝවැසියන් මුහුණ පා ඇති අභියෝග ජය ගැනීම තුළින් මුළු ලෝකය වඩා යහපත් හෙට දවසක් කරා සංවර්ධනය කිරීම එහි මූලිකම අභිලාශයන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවද 2030 වන විට; වඩා යහපත් ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමේ වගකීමට බැඳී සිටී. මෙකී සංවර්ධිත හෙට දවසක් කරා ගමන් කිරීමට නම්, අප රටක් වශයෙන් රට තුළ පවතින සැබෑ ගැටලු හඳුනා ගත යුතුව තිබේ. ඒ සඳහා රටේ භද්‍ර යෞවනයට ඉටු කිරීමට අති මහත් වූ වැඩ කොටසක් පවතී. ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි සංඛ්‍යාවක් තරුණ තරුණියන් ය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ද ¼ ක් පමණ තරුණ තරුණියන් ය. ඒ අනුව මෙකී සමාජ ප්‍රශ්න ගැටලු වැඩි වශයෙන් භුක්ති විඳීමට සිදුව ඇත්තේ ද ඔවුන්ටමය. මේ සඳහා විසඳුම් සෙවීමේ හැකියාව තීරණ ගැනීමේ බුද්ධිය පවතින්නේද ඔවුන් සතුවය.

මූලික වශයෙන්ම දිලිඳුකම හා කුසගින්න තුරන් කිරීමට නම් දරිද්‍රතා මට්ටම අවම කළ යුතු ය. නමුත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මටටම 2020 අවසානය වන විටත් 5.8% ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරයි. මහ බැංකු වාර්තා අනුව එය පුද්ගලයන් 451,000කි. ලෝකයේම දරිද්‍රතාව කොවිඩ් නිසා ඉහළ යාම ද 2030 වන විට දරිද්‍රතාවය තුරන් කිරීමේ තිරසාර සංවර්ධන ඉලක්කයට සැබෑ අභියෝගයකි. ගැටලුව හඳුනා ගත හැකි වුවත් එහි මූලය හොඳින් හඳුනා ගත නොහැකි වුවහොත් නිසි විසඳුම් සොයා ගත නොහැකිය.

දරිද්‍රතාවය ඉහළ යාමට මූලිකම හේතුව වන්නේ රටේ පවතින විරැකියා මට්ටම ඉහළ යාමයි. මාගේ පෞද්ගලික මතය නම්; විරැකියාව ඉහළ යාමට බලපාන එක් ප්‍රධානතම හේතුවක් වන්නේ රටේ පවතින අධ්‍යාපන පද්ධතියේ ගැටලුයි. රැකියා විරහිත උපාධිධාරීන් ද  බෝඩ් කැබලි ඔසවාගෙන රටේ පාලකයන්ගෙන් රැකියා යදිමින් මං මාවත් පුරා සිඟමනේ යන යාචකයින් පිරිසක් බවට පත් වෙද්දී; රටේ අනෙකුත් තරුණ ප්‍රජාවගේ ඉරණම කෙසේ නම් විසඳේවි ද? රටේ කෂේරුකාව බඳු තරුණ ප්‍රජාව විරැකියාවෙන් පෙලෙමින් අනාගත අපේක්ෂාවන් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් හා වුවමනාවන් සපුරා ගත නොහැකි තත්වයට පත් වූ විට, දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් බවට ඔවුන් දිනෙන් දින පත්වන විට, අවශ්‍යතාවන්ගෙන් තොරව ජීවත්වීමේ අයිතිය ඔවුන්ට අහිමිවන විට; රටේ මානව ආරක්ෂණය කෙසේ නම් සුරක්ෂිත වේවිද?

වෙනස් කළ යුතුව ඇත.වෙනස් විය යුතුව ඇත. හෙට හෝ මතු යම් දිනක නොව අද මේ මොහොතේ පටන්. එසේ නැතිනම්; තව වසර 10කින් තිරසාර සංවර්ධන ඉලක්කයන් බිඳගත් අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් තවත් නුදුරු අනාගතයටත් අපගේ අනාගත නූපන් පරපුරටත් තව චිරාත් කාලයක් සංවර්ධනය වෙමින් පවතින රටක පහස විඳින්නට සිදු වනු ඇත. ඔවුන්ගේ හිසටද මහ හෙණ පතිත වෙන තුරු “විය යුත්තක් ම වේවි” යැයි සිතමින් සිටීම රටේ තරුණ පරපුර වන අපගේ වගකීම නොවේ.

සාමාන්‍යපෙළින් පසු හා උසස්පෙළින් පසු රටේ තරුණ ප්‍රජාව යොමු වන්නේ කුමන දෙසට ද? සමාන්‍යපෙළින් පසු එය අසමත් වන තරුණ තරුණියන්ගේ අධ්‍යාපන ගමන අඩාල වෙයි. උසස්පෙළින් පසුද බොහෝ පිරිස් රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වෙද්දී, ඒ සඳහා සුදුසුකම් සපුරා ගත නොහැකි වූ අති විශාල පිරිසක් එක්කෝ කුමන හෝ රැකියාවක නිරත වේ.නැතිනම් රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් අරගල කරයි. අරගල කිරීම යනු සමාජ ගැටලු නිරාවරණය කිරීම උදෙසා ගත හැකි හොඳම විසඳුමක් වුවද; එය සමාජ ගැටලු නිරාකරණය කර ගැනීමේ හෝ ඒ සඳහා විසඳුම් ලබා ගැනීමේ හොඳම ක්‍රමවේදය නම් නොවේ.

මේ තුළින් සිදු වන්නේ රටේ ශ්‍රම බලකාය තව දුරටත් හීන වී යාමයි.ඉන් ඔබ්බට ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කර ගැනීමේ යථාර්ථයක් වෙත යාම නවතා දමා ඔවුන් විසින් තමන්ගේ කාලය ශ්‍රමය කුමන හෝ තැනක සිරගත කරති.අප වෙනස් කළ යුත්තේ එතැනයි.අප සිතන ආකාරයයි.රටේ තරුණ ප්‍රජාව වශයෙන් මීට වඩා සිතීමේදී ප්‍රායෝගික විය යුතුය.පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනස් විය යුතු තැන්,වෙනස් විය යුතු තැන් බොහොමයක් තිබේ.රටේ දේශපාලන පක්ෂය කුමක් වුවත් ඒවාට නිසි තැන් බලා පිළියම් යොදනුදැයි සැක සහිත ය.නමුත් රටේ අධ්‍යාපන පද්ධතියට සෘජුවම සම්බන්ධවන පුද්ගල කණ්ඩායම් වශයෙන් තරුණ ප්‍රජාව අධ්‍යාපනයේ ඉහත කී තත්වයන් හමුවේ රටේ දේශපාලනයට පාලකයන්ට හෝ බලදාරීන් විවේචනය කරමින් සිටීමෙන් ද ඵලක් නැත.

අධ්‍යාපනයේ නව මානයන් සොයා යා යුතු ය.තමන්ගේ දක්ෂතාවය පරිදි කුමන හෝ වෘත්තීය පුහුණු හෝ වෙන යම් අධ්‍යාපනික සුදුසුකම් සපුරා ගත හැකි පිවිසුම් වෙත ගමන් කළ යුතු ය.ඒ හරහා තම හැකියා නිපුණතා සංවර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුය.නුපුහුණු/සුදුසුකම් විරහිත රැකියා අයදින පුහු තාරුණ්‍යයක් වෙනුවට රට තුළ පුහුණු/සුදුසුකම් සැපිරූ ශ්‍රම බලකායක් බිහි විය යුතුය.එතනින් ඔබ්බටද රජයේ රැකියා පසුපසම පමණක් හඹා නොගොස් පෞද්ගලික අංශයේ මෙන්ම තමන්ගේම ව්‍යාපාර අංශයන් ආදියට ද යොමු විය යුතු ය.මන්ද යත් රටේ පවතින රැකියා අංශයන් කෙරෙහි යොමු වීමේදී සෑම අංශයක් කෙරෙහිම සමානුපාත වීම තුළින් ද රැකියා නොමැති ප්‍රජාවක් බිහි වීමේ ගැටලුවට පිලියම් සෙවිය හැකි ය.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආරක්ෂා කිරීමද තරුණ ප්‍රජාවේ ඉමහත් වගකීමකි.රැකියා කළ යුත්තේ පිරිමි පමණකි.ගැහැණියගේ කාර්යය නිවසට වී දරුවන් හදා වඩා ගැනීමයි. මෙවන් පුහු චින්තනයන් හිස්වලින් බැහැර කළ යුතු ය.ස්ත්‍රී ශ්‍රම බලකායේ අඩු වීම රටේ ආර්ථිකයට සෘජුවම බලපාන්නකි.රටේ ආර්ථිකය කඩා වැටුණු පසු ඉලක්කගත සංවර්ධනයක් කරා රට ගෙන යන්නේ කෙසේ ද? සමාජය තුළ ස්ත්‍රීයට එරෙහිව නැඟෙන ප්‍රචන්ඩත්වය,හිංසනය,ලිංගික සූරාකෑම වැනි අඳුරු සෙවණැලි සමාජය තුළින් අතුගා දැමිය යුතුය.ඒවාට එරෙහිව නැඟී සිටිනා තරුණ ප්‍රජාවක් නිර්මාණය විය යුතුය.

පසුගිය දින කිහිපය තුළ අසන්නට දකින්නට සිදු වූයේ රටක් වශයෙන් අතිශය අමානුෂිකම වූ සිද්ධි දාමයකි. ඒවාට ගොදුරු වූවන් හෝ ඒවා සිදු කළ පුද්ගලයන් බහුතරය තරුණ ප්‍රජාව නියෝජනය කරන පිරිසයි. තවමත් අප සමාජය, ප්‍රජාවේ චින්තන මට්ටම සංවර්ධිත මට්ටමකට පැමිණ නැති බව හුවා දැක්වීමට අටුවා ටීකා අවැසි නොවේ. මේ අත්විඳින්නට සිදුව ඇත්තේ ඒවායෙහි ප්‍රතිඵලයි. තවමත් තරුණ ප්‍රජාව සමාජ මාධ්‍ය ජාලා නිවැරදිව පරිහරණය කරන්නට උගෙන නැත. ඔවුන් ඒවා යොදා ගන්නේ අතිශය වියවුල් සහගත සමාජ තත්වයන් නිර්මාණය කරන්නට මිස අන් යමකට නොවේ.කළ යුතුව ඇත්තේ එය නොවේ. රටේ තරුණ ප්‍රජාව වශයෙන් අපට හැකිනම්; සමාජයේ ලොකු කුඩා කවුරුනුත් තම වටිනා කාලයෙන් වැඩිම ප්‍රමාණයක් වැය කරන සමාජ ජාලා තුළින්ම සමාජය සංවර්ධනයේ අඩිතාලම දැමීමට. ඒවා තුළින් නිර්මාණාත්මක චින්තනය විදහා දක්වමින් සියල්ලන්ගේම දෑස් වැසී ඇති මේ කලු කඩතුරාව ඉරා දැමීමට ඒ සඳහා ඔවුන්ව මෙහෙයවීට ඇති වේදිකාවක් බවට එය පත් කොට ගන්නට.

අනෙකුත් වැදගත්ම  හා මේ වන විට දැඩි අභියෝගයකට මුහුණ පා ඇති අංශය සෞඛ්‍ය‍යයි. රටේ සෞඛ්‍ය නඟා සිටුවීමට නම් රටේ ජනතාව බෝවන හා බෝ නොවන රෝගවලින් වළක්වාගත යුතුය. ආහාර ආරක්ෂාව මෙහිදී දැඩි ලෙස වැදගත් වේ.ආහාර සුරක්ෂිත කිරීමට නම් ගුණාත්මක වගාවන්/සාර්ථක කෘෂිකර්මාන්තය අත්‍යවශ්‍ය වේ. කලෙකදී පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් හැඳින් වූ සරුසාර ශ්‍රී ලංකාව අද වස විසෙන් පිරි භව භෝගයෙන් දස දහස් ගණන් මිනිස් සිරුරු තුළ පිළිකා සෛල වර්ධනය කරමින් සිටීම අතිශය ඛේදජනකය.

මෙලෙස ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය අතිශය පහත් තත්වයකට ඇදවැටීමට නොදී පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කළ යුතුය. රටේ තරුණ ප්‍රජාවට එය වෙනස් කළ හැකිය. කෘෂිවිද්‍යා අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ පිරිස් නව තාක්ෂණයන් නව දැනුම උපයෝගී කරගනිමින් රටේ පරිසරහිතකාමී කෘෂිකර්මාන්තයක් නිර්මාණය කරන්නට උර දිය යුතුය. අද වන විට රටේ බොහෝ කෘෂිකාර්මිකයන් තම වෘත්තිය අතැරදමා වෙනත් වෘත්තීන් සොයා නගරයට පැමිණෙන්නට පටන් ගෙන තිබේ. රටේ ප්‍රමුඛම වෘත්තිය වන බත සැපයීම එසේ අතැර දැමීම තව වසර 10ක් වැනි කෙටි කලක් තුළ තිරසාර සංවර්ධන ඉලක්කයන් ළඟා කර ගන්නට තබා සිතන්නටවත් නොහැකි තැනකට අපව ඇද දමනවා නොඅනුමානය.

මෙලෙස සමාජයේ බිම් මට්ටමින් ඇතිවන ගැටලු හේතුවෙන් අවශ්‍යතා පදනම් කර ගත් ගැටලු, මානව අයිතිවාසිකම් කඩවීම් මූලික කරගත් ගැටුම් මූලයන් ක්‍රම ක්‍රමයෙන් දලු ලා වැඩිය හැකිය. ගිනි පුපුරු සැමදා දිලිසෙමින් පවතින්නේ නැත. දැඩි සුළඟක් හැමූ විට ඒවා එකිනෙක ඇවිලී මහා ගින්නක් බවට පත් වේ. ඒ ගින්නෙන් දැවී හලු වී යාමට ප්‍රථම සැඟවී පවතින ගිනි පුපුරු නිවා දැමිය යුතුය. සහමුලින්ම නිවා දැමිය යුතුය. ඉතිරි වී ඇති දශකයක කාල පරිච්චේදය තුළ පවතින ගැටලු නිරාකරණය කරමින් වඩාත් යහපත් සංවර්ධිත රටක් බවට රට පත් කර ගැනීමේ අභියෝගය ජය ගත හැකි නම්; රටක් වශයෙන් රටක තරුණ පරපුර වශයෙන් අපට ලබා ගත හැකි සුවිශාලම ජයග්‍රහණය එයයි.මේ සිතීමට නොව ක්‍රියාත්මක වීමට කලයයි. චින්තනය මෙහෙයවීමට කාලයයි. තවත් සංවර්ධනය වෙමින් පවතින රටක් නොව ආර්ථික,සමාජීය,දේශපාලන වශයෙන් සංවර්ධිත ශ්‍රී ලංකාවක් 2030 වන විට නිර්මාණය වීමට නම් තරුණ ප්‍රජාව විසින් පවතින ක්‍රමය වෙනස් කළ යුතුම ය.

About the Author:

sugandika

sugandika

R.G.Sugandika Waidyarathne

I Am an undergraduate at the University of Colombo and I'm in my final year. my study scope is Conflict Resolution and Peace. Currently, I am working as a research intern at International Youth Alliance for Peace. I am very interested in peacebuilding, Human rights, and social works.

Share This Entry