Blog

ශ්‍රී ලාංකික සංස්කෘතිය, සම්ප්‍රදාය හා තාරුණ්‍යයය

Nuha Fazloon

Mar 18, 2023

0

තරුණ ප්‍රජාව සහ ඔවුන්ගේ කාර්ය භාරය

ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික සමාජයක් සහිත ප්‍රබල සාම්ප්‍රදායික පරිසරයක් පවතින රටකි. සංස්කෘතික සම්ප්‍රදායන් ගණනාවකින් බැඳී ඇති ශක්තිමත් අන්තර් සංස්කෘතික ක්‍රියාකාරකම් සමාජයක් ශක්තිමත් සහ ස්ථාවර වීමට මඟ පෑදිය හැකිය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය සුරැකීමෙහිලා තරුණ තරුණියන්ට පැවරී ඇති කාර්ය භාරය මෙතුලින් විස්තර කෙරෙනු ඇත.

රටක මුදුන් මුල එම රටෙහි වෙසෙන තරුණ පරපුරයි. අනාගතයේ සුවිශේෂී පාත්‍ර ලෙස මෙම තරුණ තරුණියෝ පත්වෙති. එය සදහන් කිරීමෙහිලා ඔවුන් ඔවුන්ගේ හිත් තුල කිදා බැස ඇති මෙම සංස්කෘතික සහ සාම්‍ප්‍රදායික වටිනාකම් සමග තමාගේ මෙන්ම රටෙහි අනාගතය නිර්මාණය කරන්නේ කෙසේද? තරුණයින්ගේ වගකීම කුමක්ද? යන පැනයන්ට පිලිතුරු සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සම්ප්‍රදාය සුරැකීම සදහා තරුණ තරුණයින්ට පැවරී ඇති කාර්ය භාරය උපස්තිථීන් හතරක් හරහා ඔබ වෙත ගෙන එන්නෙමු.

1.         සංචාරක ව්‍යාපාරය

සංචාරක ව්‍යාපාරය වර්තමානය වන විට ශ්‍රී ලංකාව සතු වැදගත්ම ආදායම් මාර්ගයක් වේ.පසුගිය වසර දෙක තුල රටෙහි සිදුවූ ආර්ථික කඩා වැටීම් හමුවේ යළි නැගී සිටීමට මෙම සංචාරක ව්‍යාපාරය බෙහෙවින් උපකාරී වේ.

සංස්කෘතිය හා සම්ප්‍රදාය රැකගනිමින් රටෙහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? යන පැනයට තරුණ තරුණියන් ලෙස කෙලෙස අප හට ඊට දායක විය හැකිද යන්න මෙතුලින් විමසා බලන්නෙමු.

ආගන්තුක සත්කාර, දේශීය ආහාර පාන, දේශීය වෛද්‍ය විද්‍යාව,  ආගමික විවිධත්වය ශ්‍රී ලංකාවේ සංචාර්ක ව්‍යාපරය නගා සිටුවීමට පාදක වන සංස්කෘතිකමය හා සාම්ප්‍රදායික පැතිකඩයන්ය. මෙම අංශ සැලකිල්ලට ගනිමින් විරෑකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ඇති කල හැක. එහෙත් ඒවා නිසියාකාරව ලංකාව තුල නිසි ඇගයීමට ලක්වෙනවාද යන්න සැකසහිතය. උදාහරණක් ලෙස චීනය, ජපානය, කොරියාව වැනි අග්නිදිග ආසියාතික රටවල් මෙන්ම ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල්ද ගත්කල ඔවුන්ගේ ආහාර (Ramen, Kimchi Biriyani), සටන් ශිල්ප (Kung Fu, Karate, Taekwondo) සහ කලා සංස්කෘතීන් (Bollywood, K-drama, K-pop) රට තුල මෙන්ම ලෝකයේද ඇගයීමට මෙන්ම ආදරයට භාජනය වී ඇති ආකාරය නොරහසකි. එලෙසම ශ්‍රී ලංකාවද ලොව පිලිගත් සංස්කෘතියක් සහිත රටක් බවට පත් කිරීමට සංචාරක ව්‍යාපාරය අපට උපයෝගී කර ගත හැක.

නව තාක්ෂණය, සමාජ මාධ්‍ය එක්කොට සංවිධානාත්මක සැලැස්මකට අනුකූලව මෙරට සංචාරක ව්‍යාපාරය තුලින් රටෙහි සංස්කෘතිය හා සම්ප්‍රදායික වටිනාකම් ජාත්‍යන්තරයට ගෙන යාම වර්ථමාන පරපුරට පවරාදීම තුළින් රටෙහි විරැකියාවට පිලිතුරු සෙවීමට පමණක් නොව නව නිර්මාණ සහ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා රුකුලක් විමටද මෙතුලින් හැකි වනු ඇත.

2.         ජාත්‍යන්තරීකරණය

ජාත්‍යන්තරීකරණය රටක සංස්කෘතිය විවිධාකාරයෙන් ව්‍යාප්ත වීමට සෘජුවම බලපාන්නකි. ගෝලීයකරණයත් සමග ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. තාක්ශණික දියුණුවත් සමග අප සංවෘත ලෝකයෙන් විවෘත සමාජයට පිවිසෙ. එවන් අවධියක තාරුණ්‍යයය තුළින් සංස්කෘතික හා සම්ප්‍රදායන් අන්තර්ජාතික මට්ටමින් ප්‍රවර්ධනය සිදුකල යුතුවේ. එතුලින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිලිගැනීම සහ අනන්‍යතාවය සාදාගත හැකිවනු ඇත.

රටක අනන්‍යයතාවය ලෝකය තුල ස්ථාපිත කරගැනීම තුළින් එම රටේ නිශ්පාදන අපනයන ඉහල නැංවිමට හැකි වනු ඇත. එ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වන තේ, පොල්, රබර් ද කුරුදු මෙන්ම මැණික් වැනි වටිනා දේ ප්‍රධාන තැනක් ගනු ඇත. එනමුදු අපනයන කරමාන්තයට වර්තමන පරපුර යොමුවීම ඉතා අඩුමට්ටමක පවතිනු ඇත. මීට ප්‍රධාන සාධක ලෙස මෙම කර්මාන්ත සඳහා යොමුවන ක්‍රමෝපායන් නව පරපුරට හදුන්වාදීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති වීම මීට හේතු සාදක වී ඇත. මෙතුලින් ජාත්‍යාන්තර ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත.

එහෙයින් රටේ නිශ්පාදනයන් ( බතික් කර්මාන්තය, අත්යන්තර රෙදිපිලි නිශ්පාදන ,වේවැල් කර්මාන්තය, මැටි කර්මාන්තය) වැඩි දියුණු කරමින් නව නිශ්පාදන ආයතනයන් සහ තරුණයන් හට ආයෝජන වල වටිනාකම  අවබෝධ කර දී, එම කර්මාන්තයෙහි යෙදීම තුළින් ලැබිය හැකි ප්‍රතිලාබ පිළිබඳව වැටහීමක් ඔවුන්හට ලබා දිය යුතු වේ.

3.         අධ්‍යාපනික විවිධත්වය

වර්තමානය වනවිට රටෙහි පවතින ආර්ථික තත්ව සහ නොයෙකුත් හේතූන් හමුවේ තරුණ තරුණියන් කලාව තුලින් ඉවත් වීම සිදුවේ. තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ ඉතාමත් සීමිත විෂ‍යන් කිහිපයකට සීමා වන තරුණ කොට්ඨාශ මුදල් ඉපයීම ම පමණක් අරමුණු කොටගෙන අධ්‍යාපනය ලබයි. එමගින් රටේ සංස්කෘතිය සහ සාම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමට තරුණ තරුණියන් අවම වීම රටට විශාල පාඩුවක් වේ. වර්තමානයේදී තරුණ පිරිස සෞන්දර්ය අධ්‍යාපනයෙන් ඈත් කිරීම සිදුකරයි. නමුත් මදක් සිතුවහොත් අධ්‍යාපනය රුකුලක් කරගනිමින් සංස්කෘතියට නව අරුතක් ලබා දීමට වර්ථමාන පරපුරට ඇති හැකියාව අසීමිතය. එය දිරිගැන්වීම, ජාත්‍යාන්තරයෙහි ඇති එවන් උදාහරණ පිළිබඳව රටෙහි දැනුමක් ඇති කිරීමට එහෙයින් මෙය කාලය වී ඇත.

අධ්‍යාපනික විවිධත්වය මගින් විද්‍යාව, තාක්ෂනය වැනි විෂයන් මෙන්ම සෞන්දර්යාත්මක විෂයන්ද හැදෑරීමට තරුණ ප්‍රජාවට ඉඩ සලසා දීම සිදුකල යුතුය. උදාහරණ වශයෙන් උඩරට, පහතරට වැනි නර්තන කලාවන් මෙන්ම භරත, කථක් වැනි නර්තන කලාවන්ද දේශීය ජන ගීත කලාව සහ අනෙකුත් සංගීත කලාවන්ද ඉගෙනුම තුලින් නව තාක්ශනික මෙවලම් සහ සමාජ මාධ්‍ය සමග එය භාවිතයට ගත හැක.

4.         සංස්කෘතිය හා වාර්ගික සමගිය

මෙලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට තිබෙන ප්‍රස්තුත හමුවේ සංස්කෘතීන් හී සුහදතාවයද වඩාත් වැදගත් වේ. තර්ක සහ ප්‍රතිවිරුද්ධ විවාද මගින් නව අදහස් මතුවෙන්නාක් සේම ඒ හා සමානව එකිනෙකට වෙනස් සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් හුවමාරු කරගැනීම මගින් නව නිර්මාණාත්මක සංස්කෘතියක් බිහිවීමත් නව්‍ය සහ පුළුල් සංස්කෘතික පරිසරයක් නිර්මාණයවීමත් සිදුවේ. මෙය දේශීය සංස්කෘතීන් අතර සහයෝගීතාවයටද වඩාත් වැදගත් වේ. මෙම කරුණ පිළිබදව තරුණ කතිකාවතක් අවශ්‍ය වී ඇති කාලවකවානුවක් වර්තමානය වන විට ශ්‍රී ලංකාව සතුව ඇත.

තරුණ ප්‍රජාව හා ඔවුන්ගේ ආකල්ප දක්ෂතා සමග රටෙහි සෑම අංශයක්ම දියුණු වීම සිදුවිය යුතු වේ. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික කලාපීය රටවල් සතු බහු සංස්කෘතික සහ බහුආගමිකත්වය ඉතා සුවිශේෂී තැනක් ලෝකයේ අන් රටවල් අතර ගනු ලැබේ. එක් සංස්කෘතියක් හෝ සම්ප්‍රදායක් හෝ අඩු වූ විට එම අඩුව විශාල වශයෙන් දැනෙන අතර තරුණ තරුණියන් ඒ වෙනුවෙන් පෙනී සිටීම සමාජ වගකීමක් ලෙස දැකිය යුතු වේ. එසේ නොමැති වූ විට එම විවිධත්වයේ අලංකාරය රටට මෙන්ම ලෝකයටද අහිමි වීම සිදුවේ. මෙහිදී රටක ආර්ථික, දේශපාලනික, සහ සමාජීය සුරක්ශිතතාව ඇති කිරීම මෙන්ම ශ්‍රී ලංකාව තුල සංස්කෘතික සහ සාම්ප්‍රදායික වස්තූන්හී සුරක්ෂිතතාව ඇති කිරීමත් තරුණ තරුණියන් සතු ප්‍රධාන කාර්යභාරය ලෙස පෙන්වා දීමට කැමැත්තෙමු.

About the Author:

Nuha Fazloon

Nuha Fazloon

Share This Entry

Array