Blog

සමාජ මාධ්‍යය තුල වෛරී ප්‍රකාශනයන්ගේ බලපෑම

May 11, 2021

0

වර්තමානය වන විට සමස්ත ලෝකය තුලම රූපවාහිනය, ගුවන්විදුලිය, පුවත්පත් වැනි සම්ප්‍රදායික මාධ්‍යයන්ට සාපේක්ෂව අන්තර්ජාලය මූලික කොටගත් සමාජ මාධ්‍යයන්ගේ භාවිතය ඉහළ ප්‍රවණතාවක් ගෙන ඇත. ඒ අනුව මිනිසුන් බොහෝ විට තොරතුරු දැනගැනීම හා හුවමාරු කිරීම උදෙසා සමාජ මාධ්‍ය බහුල වශයෙන් යොදා ගනු ලබයි. මෙම සමාජ මාධ්‍යය භාවිතය පුළුල් වීමත් සමගම වෛරී ප්‍රකාශනයන් භාවිතය සේම ඉන් ඇතිවන්නා වූ ප්‍රචණ්ඩත්වයද ඉතා සංකීර්ණ ලෙස සමාජය තුළ ව්‍යාප්තව ඇති බව අවිවාදයකින් යුක්තව පිළිගත යුතු කරුණකි. ඒ නිසාවෙන් ලෝකයේ බොහෝ රාජ්‍යයන් තුළ මෙකී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන්නා වූ වෛරී ප්‍රකාශනයන් හේතුවෙන් පැන නැගුනා වූ විවිධාකාර ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් සුලබව දැකගත හැක. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ද එසේ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන්නා වූ වෛරී ප්‍රකාශනයන් හේතුවෙන් බොහෝවිට අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති රාජ්‍යයක් බවට පත්ව ඇති අයුරු මේ ඔස්සේ විමසුමට ලක් කරනු ඇත.

මෙම වෛරී ප්‍රකාශනයන් උදෙසා නිශ්චිත වූ අර්ථකථනයක් දැක්විය නොහැකි අතර එහි ස්වභාවය ලෝකය තුළ වඩාත් මතභේදයට ලක් වූවකි. කෙසේ වෙතත් ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂභාවය හෝ ලිංගික දිශානතිය වැනි කාරණාවන් පදනම් කරගනිමින් යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් උදෙසා සිදු කරනු ලබන වෛරය ජනිත කරන්නා වූ ප්‍රකාශනයන් මෙන්ම ප්‍රචණ්ඩත්වය දිරිගන්වන්නා වූ කතාවන්ද වෛරී ප්‍රකාශනයන් ලෙස සරලව අර්ථ දැක්විය හැක. ඒ අනුව ෆේස්බුක්, යූටියුබ්, වට්ස් ඇප්, වයිබර්, ආදී විවිධ සමාජ මාධ්‍ය ගිණුම් උපයෝගී කර ගනිමින් වෛරී අදහස් ජනිත කරවීමේ අපේක්ෂාවෙන් පළ කරනු ලබන වීඩියෝ පට, පෝ්ස්ට්, ප්‍රතිචාර මේ සඳහා අදාළ වේ.

ශ්‍රී ලංකාව සැලකූ විට දකුණු ආසියානු සන්දර්භයක් සහිත බහුවාර්ගික ජන සමාජයකින් යුක්ත වූ එනම් සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි යන ජනවාර්ගික විවිධත්වයකින් යුත් කුඩා රාජ්‍යයකි. දකුණු ආසියානු සන්දර්භයක් සහිත වන හෙයින්ද සංස්කෘතික වශයෙන් පවත්නා වූ සම්ප්‍රදායික දෘෂ්ඨිකෝණයන් නිසාවෙන්ද බොහෝ අවස්ථාවන්හිදී ශ්‍රී ලාංකික ජන සමාජය හැඟීම් මූලික කොට ගනිමින් කටයුතු කරනු ලබයි. මේ නිසාවෙන් වර්තමානය වන විට සමාජ මාධ්‍ය පරිහරණයෙහි වර්ධනයත් සමගම ශ්‍රී ලංකාව තුළ විවිධාකාර වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් නිර්මාණයවීමෙහිලා තුඩු දුන් එක් ප්‍රධාන සාධකයක් බවට මෙම වෛරී ප්‍රකාශනයන් හදුනාගත හැක. මන්ද යත් එකී වෛරී ප්‍රකාශනයන් යොදා ගනිමින් ජනතාවගේ සියුම් හැගීම් හා භාවයන් ආමන්ත්‍රණය කිරීමට සමාජ මාධ්‍ය සමත්ව ඇති හෙයිනි.

සැබැවින්ම වෛරී ප්‍රකාශනයන් හා ප්‍රචණ්ඩත්වය යනු එකිනෙකට බැඳී පවතින කාරණාවන්ය. එය හුදෙක් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සේම සම්ප්‍රදායික නොවන ආරක්ෂාව එනම් මානව ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වී ඇත. මන්දයත් වර්තමානය වන විට යම් යම් අන්තවාදී මත දරන්නන් තම අදහස් ව්‍යාප්ත කිරීමෙහිලා භාවිතා කරනු ලබන ප්‍රබලම මෙවලමක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇත. එය පහත නිදසුන් ඔස්සේ මනාව පැහැදිලි වෙි.

ඒ අනුව ලංකාවේ සිදුවු පාස්කු ප්‍රහාරයෙන් පසු සමස්ථ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් මුහුණු පොත හරහා ගෙන යනු ලැබූ වෛරී ප්‍රකාශන ඇතුළත් වීඩියෝ පට සහ පෝ්ස්ට් කදිම නිදසුන්ය. ඒ හරහා මුස්ලිම් ජාතීන්ට එරෙහිව සිංහල ඇතුළු අනෙකුත් ජාතීන් තුළ වෛරී සහගත හැඟීම් උද්දීපනය කරමින් ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමෙහි ලා ඇතැම් පිරිස් උත්සාහ ගත් අතර දිගන හා අලුත්ගම සිදුවීම්ද ඊට කදිම නිදසුන්ය. මේ හරහා ලංකාව තුළ අභ්‍යන්තර ආරක්ෂාවට සේම ප්‍රජාවක් ලෙස මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාවටද, තනි තනිව ගත් කළ පුද්ගල ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයන් සිදුවිය. ඒ අනුව සැබවින්ම ලංකාව තුළ වෛරී ප්‍රකාශනයන්ගේ සෘජු ඉලක්කය බවට පත්ව ඇත්තේ මුස්ලිම් ජන කොට්ඨාශය බව පැහැදිලිය.

 එසේම තවදුරටත් ද්‍රවිඩ ජාතිකයෙකු හමුවේ ‘කොටියා’ලෙසත්, මුස්ලිම් ජාතිකයකු හමුවේ ‘තම්බියා’ ලෙසත් ආමන්ත්‍රණය කරමින් තම වෛරී අදහස් අනෙකාට ව්‍යාප්ත කිරීමට ද කටයුතු කරු ලබන අවස්ථාවන්ද වර්තමානය වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නා වූ විවිධ වීඩීයෝ පට හා පෝ්ස්ට් ඔස්සේසේඳුනාග ගත හැක. එය නිසැකයෙන්ම ජනවාර්ගික සංහිඳියාව හෝ සාමූහිකත්වයට සහය වන්නක් නොව ජන වර්ගයන් අතර ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමෙහිලා තුඩු දෙන ප්‍රබල කාරණාවකි. එය සැබැවින්ම රටක ජාතික ආරක්ෂාවද අඩපණ කිරීමට හේතු පාදක වන්නකි.

එසේම පසුගිය දිනවල කාන්තාවන් ඉලක්ක කොට ගනිමින් සිදුකරන ලද වෛරී ප්‍රකාශනයන් සමාජ මාධ්‍ය තුළ බහුල ලෙස සංසරණය වීමද කාන්තා  අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සනාථ වන්නා වූ ප්‍රබල සාක්ෂියකි. විශේෂයෙන් ලංකාවේ ප්‍රසිද්ධ ගායිකාවක් පිළිබදවද, පරිසරවේදියක් පිළිබදව මෙන්ම කාන්තා පොලිස් නිලධාරිනියක් සම්බන්ධයෙන් පළ වන ලද විවිධ වූ වෛරී ප්‍රකාශනයක් ඊට කදිම නිදසුන්ය. මේ හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, වෙන්කොට නොසැලකීම ,කාන්තාවක ලෙස අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය ආදි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සමාජය තුළ විවිධ අපහාසයන්ට හා පහත් කොට සැලකීම් වලට ලක්වන අවස්ථාවන් පසුගිය දිනයන්හිදී දැක ගත හැකි විය. එසේම එක් රියැලිටි තරගාවලියකින් ජයග්‍රහණය කරනු ලැබූ තරුණියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතිභේදයන් නොසලකා සාමුහිකව ඇයව ප්‍රශංසාවට ලක් කරන අවස්ථාවන්හිදී ඇතැම් අන්තවාදී අදහස් දරන්නන් ජාතිවාදී අදහස් ව්‍යාප්ත කිරීමෙහිලා වෛරී ප්‍රකාශනයක් භාවිතා කරන අයුරුද දැකගත හැකිවිය. මෙකී කාරණාවන් හමුවේ කාන්තාවන්ගේ පුද්ගලික ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඉස්මතු වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙකී වෛරී ප්‍රකාශනයන් වාර්ගික, ආගමික කණ්ඩායම් හා සුළුතර ජාතීන් සේම කාන්තාවන් මුල්කරගනිමින්, ලිවීම, කථනය, වචන භාවිතා කිරීම හෝ හැසිරීම ආදී ඕනෑම ආකාරයකින් සන්නිවේදනය බව පැහැදිලිය. ඒ හරහා වින්දිතයන් මානසික ලෙස සේම ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම් තුළ ශාරීරිකව වශයෙන් ද හානියට ලක්වනු ඇත. එය හුදු ජාතික ආරක්ෂාව සේම මානව ආරක්ෂාව පලුදු කරමින් සමාජ සමානාත්මතාවයට හා යහ පැවැත්මටද හානි සිදු කරනු ලබයි.

වර්තමානයේ වන විට බොහෝ අවස්ථාවන්හිදී තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යය හරහා වෛරී ප්‍රකාශනයන් ව්‍යාප්ත වීම හදුනා ගත හැක. මන්දයත් සමාජය තුළ දැඩි කැළඹීමක් ඇති කරමින් පහසුවෙන් ප්‍රචණ්ඩත්වය කරා පෙළඹිය හැකි, වඩාත් පහසුවෙන් හැඟීම් උද්දීපනය කළ හැකි පිරිස වනුයේ තරුණයින් වන හෙයිනි. ඒ හරහා විශේෂයෙන් රාජ්‍ය ආරක්ෂාවට සේම මානව ආරක්ෂාවේ ප්‍රජා ආරක්ෂාවටද, පුද්ගල ආරක්ෂාවට ද දැඩි ලෙස හානි වනු ඇත. එනම් යම් කුඩා සිදුවීමක් වෛරී ප්‍රකාශනයන් හරහා දික්ගැස්සුනු විශාල සමාජ ගැටුමක් ලෙස වුවද පරිවර්තනය වීමේ හැකියාව පවතී.

ජොහාන් ගැල්ටුන් විසින් ව්‍යුහය, ආකල්ප, චර්යාව යන අවස්ථා ත්‍රිත්වයක් ඔස්සේ ගැටුමක් ඇති වන ආකාරය පිිබඳ ගැටුම් ත්‍රිකෝණය හරහා ඉදිරිපත් කර ඇති අතර එහිදී වෛරී ප්‍රකාශනයන් හරහා ගැටුමක් නිර්මාණය වන ආකාරය මනාව අවබෝධ කරගත හැක. ඒ අනුව ගැටුම නිර්මාණය වීමට බලපානු ලබන පාරිසරික තත්ත්වයන් එනම් සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් සිදුවන්නා වූ වෛරී ප්‍රකාශනයන් හේතුවෙන් ගරුත්වය, පිළිගැනීම යන කාරණාවන් නිසි ලෙස ඉටු නොවීම, වෙන් කොට සැලකීම යන කාරණාවන් ව්‍යුහාත්මක ලෙස ගැටුම් නිර්මාණය වීමට බලපෑම් කරනු ලබයි. එයින් පුද්ගලයන් තුල ඇතිවන්නා වූ වෛරය, ක්‍රෝධය, තරහව වැනි චේතනාවන් හරහා බිහි වන්නා වූ ආකල්පයන් මත ඇතිවන්නා වූ ප්‍රචණ්ඩකාරි චර්යාවන් අවසානයේ ගැටුම් නිර්මාණයෙහිලා බලපෑම් කරනු ලබයි.  ඒ අනුව පැහැදිලි වනුයේ වෛරී ප්‍රකාශනයන් හුදු ව්‍යුහය තුල අසමානතාවයන් නිර්මාණය කරමින් සමාජය ඉතා ප්‍රචණ්ඩකාරී ගැටුමක් දක්වා වර්ධනය කිරීම කෙරෙහි හේතු සාධක වන බවයි.

මනුෂ්‍යයකු වීම හේතුවෙන් අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස හිමි වුවද එය අවභාවිතා කරමින් තවත් පුද්ගලයෙකු තුළ වෛරී හැඟීම් උද්දීපනය කරමින් සමස්ථ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු නොකළ යුතුය. මේ නිසාවෙන් සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සිදු වන්නා වූ මෙම වෛරී කථනය කෙරෙහි රාජ්‍ය පාර්ශවයන්ගේ සේම සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතුය. ඒ හරහා ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් ඇතිවීමට පූර්වයෙහි එකී හේතු කාරණා මැඩ පැවැත්වීමට අවධානය යොමුකිරීම වඩාත් ඵලදායි වෙි. එසේ නොවුනහොත් එය සමස්ත රාජ්‍යට සේම සමස්ත මානවයාගේද ආරක්ෂාවට තර්ජනයක් වනු නොඅනුමානය. මන්දයත් ලංකාවේ සේම සෑම රාජ්‍යයකම ප්‍රමුඛ අභිලාෂය බවට පත්වනුයේ ජාතික ආරක්ෂාව වීමය.

දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් තුල වෛරී ප්‍රකාශනයන් වැළැක්වීම සඳහා යොදා ගත හැකි පැහැදිලි රෙගුලාසි පැවතියද ඒවා නිසි ලෙස ලංකාව තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් දැකිය නොහැක. ඇතැ් අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සිදුවන්නා වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් පාලනය කර ගැනීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සමාජ මාධ්‍ය අවහිර කිරීමට කටයුතු කළ ද එම අවස්ථාාවෙදී විකල්ප විධික්‍රම හරහා එකී සමාජ මාධ්‍ය භාවිත කරනු දැක ගත හැක.

මෙි නිසාවෙන් ලංකාව තුල තවමත් මෙම වෛරී ප්‍රකාශනයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රායෝගිකව නිසි අයුරින් සිදු නොවන බව පැහැදිලිය.

 ඒ අනුව සමාජ මාධ්‍යය ඔස්සේ සිදුවන්නා වූ මෙම වෛරී ප්‍රකාශනයන් සැබැවින්ම අදහස් ප්‍රකාශ කිරී්මේ මේදහසට සේම සමාජ සුරක්ෂිතතාවයටද හානිදායක වනබව පැහැදිලිය. එනිසාවෙන් මෙම වෛරී ප්‍රකාශනයන් නියාමනය කරන්නේද නැතහොත් වාරණය කරන්නේද යන කාරනාවන් සමාජය තුල අඛණ්ඩ විවාදයට තුඩු දී ඇත. මේ නිසාවෙන් සමාජයක් ලෙස සාමූහික හා සාධාරණ රාජ්‍යක් නිර්මාණය කිරීම උදෙසාත් වඩාත් සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීම උදෙසාත් සමාජ මාධ්‍ය ඵලදායි ලෙස භාවිතා කිරීම උදෙසා තරුණ පරම්පරාව සවිබලගැන්වීම් වඩාත් වැදගත් වන්නේය. එය සමස්ථ ශ්‍රී ලංකාවෙි සේම සමස්ථ මානවයාගේම සුරක්ෂිතතාවය තහවුරු කිරීම කෙරෙහි මහගු පිටිවහලක් වන බව නොඅනුමානය.

References

In Sri Lanka, Youth Social Media Group Combats Hate Speech and. (2020, September 16). GlobalCommunities. https://www.globalcommunities.org/In-Sri-Lanka-Youth-Social-Media-Group-Combats-Hate-Speech-and-Misinformation

Weerasingha. (2021, January 18). Social Media and Hate Speech in Sri Lanka – Sri Lanka Press

Institute. Sri Lanka Press Institute. https://www.slpi.lk/social-media-and-hate-speech-in-sri-lanka/

About the Author:

Share This Entry

Array