Blog

World Science Day for Peace and Development

kanchana

Nov 10, 2020

0

“තිරසාර අනාගතයක් සඳහා විද්‍යාව”; සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය

නව ලෝකය කාර්මික විප්ලවයෙන් අනතුරු ව, සංවර්ධනයේ යෝධ පියවර රැසක් සමඟ දිගු ගමනක් උදෙසා පෙරමං තැනීම ඇරඹිණි. කල්යත් ම විද්‍යාවේ අපූර්වත්වය මෙන් ම එහි විනාශකාරී පැතිකඩ ද පසක් වූයේ, මානව සංහතිය වෙත ම එහි අඳුරු ප්‍රතිඵල උදාවන්නට ආරම්භ වූ පසු ය. ඉන් අනතුරු ව වසර ගණනාවක් මුළුල්ලේ සිදු වූ කතිකාවන් රාශියකගේ අග්‍රඵලයක් ලෙස, වර්ෂ 2001 දී යුනෙස්කෝ සංවිධානය විසින් නොවැම්බර් 10 වන දා සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

සාමය හා සංවර්ධනය සඳහා ලෝක විද්‍යා දිනයක් සැමරීමේ තාර්කික පදනම වනුයේ, තිරසාර සමාජයන් සඳහා විද්‍යාවේ මෙන් ම විද්‍යාඥයින්ගෙන් කාර්යයභාර්යයේ වැදගත්කම පැහැදිලි කිරීමත්, විද්‍යාත්මක දැනුම සම්බන්ධ ව පුරවැසියන් දැනුම්වත් කිරීම හා ඔවුන් ඒවාට සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය යි. මේ අර්ථයෙන් ගත් කල, සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනයක් සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ජීවිතවල විද්‍යාවේ අදාළත්වය පෙන්වීමට සහ ඔවුන් එකී සාකච්ඡාවලට සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නකි.

එපමණක් නො ව, ජාතික මෙන් ම අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගිතා සවිමත් කිරීම, සමාජයන්හි යහපැවැත්ම උදෙසා විද්‍යාව භාවිත කිරීමට ජාතික හා ජාත්‍යන්තර කැපවීම් සංවර්ධන කිරීම හා විද්‍යාත්මක පර්යේෂණ  සඳහා සහයෝගය ලබා දීමේ දී විද්‍යාව මුහුණ දෙන අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීම මෙකී දිනය නම් කිරීමේ අනෙකුත් පරමාර්ථය ලෙස සඳහන් කළ හැකි ය.

කෝවිඩ් 19 හා සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය

මෙවර සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය සමරනුයේ කෝවිඩ් 19 වසංගතය සමඟින් සමස්ත ලෝකය ම සටන් කරනු ලබන මොහොතක ය. ඒ අනුව මෙවර දිනයෙහි තේමාව ලෙස යුනෙස්කෝ සංවිධානය යෝජනා කර ඇත්තේ, “ගෝලීය වසංගතය සමඟින් ගනුදෙනු කරන, තිරසාර අනාගතයක් සඳහා විද්‍යාව” යනුවෙනි.

ඒ අනුව පවතින තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම උදෙසා, විවේචනාත්මකව අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට යුනෙස්කෝ සංවිධානය සිය ප්‍රතිපත්ති මෙහෙයවා ඇත. එහි අරමුණ ලෙස ඔවුන් දක්වනුයේ, විද්‍යාව සමාජයට සමීප කරවීම යි. විද්‍යාත්මක දෘෂ්ටිකෝණයට අනුව, යුනෙස්කෝව කෝවිඩ් 19ට ප්‍රවේශ වනුයේ මූලික ආකාර තුනකින් ය. එනම්, අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගීතාව ප්‍රවර්ධනය, ජල පහසුකම් වෙත ප්‍රවේශය සහතික කිරීම සහ පාරිසරික ප්‍රතිනිර්මාණයට සහාය වීම ය.

තිරසාරත්වය අනාගතය හා විද්‍යාව

මෙම දිනයේ මූලික හා ප්‍රමුඛතම අවධානයක් තිරසාරත්වයට ලබා දී තිබේ. සරල ව ම තිරසාර බව යනු, වත්මන් සම්පත් තුළින් වත්මන් අවශ්‍යතාවයන් සාක්ශාත් කර ගැනීම යි. එහෙත් වර්තමාන ලෝකය තුළ ආර්ථික සංවර්ධනට ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණ ද, තිරසාරත්වය යන සංකල්පයේ අනෙක් පැතිකඩ වන පාරිසරික හා සාමාජීය අංශයන් වෙත යොමු වී ඇත්තේ අවම අවධානයකි. එය කෝවිඩ් 19 වැනි වසංගත තත්ත්වයන් කරා අප රැගෙන ගොස් තිබේ.

විද්‍යාව හා නූතන තාක්ෂණය භාවිත කළ යුත්තේ කෙටි කාලීන වේගවත් සංවර්ධනයට නො ව, දිගු කාලීන තිරසාර සංවර්ධනයකට බව මනුශ්‍ය වර්ගයා තේරුම් ගත යුතු කාලය එළඹ ඇත. එවැනි දිනයක මිනිසා කිසිදු ප්‍රාණයක් ඉලක්ක කර ආයුධ නො ඔසවනු ඇත. සාමය-සංහිඳියාව වෙනුවෙන් විද්‍යාව දියත් වනු ඇත. පරිසර හිතකාමීත්වය පෙරටු කරගත් සංවර්ධනයක් කරා යොමු වනු ඇත. එවන් වූ දිනෙක, සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය සැමරුමකට සීමා නො වූ යථාර්ථයක් වනු ඇත.

තිරසාර සංවර්ධනය අප සැමට අවශ්‍ය අනාගතයට යන මාවතයි. එය ආර්ථික වර්ධනයක් ඇති කිරීම, සමාජ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීම, පාරිසරික භාරකාරත්වය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා රාමුවක් ඉදිරිපත් කරයි.

බෑන් කී-මූන්-

කාංචන ගීත් සමරවීර

About the Author:

kanchana

Kanchana Geeth Samaraweera

Reading for B.A. Economics (Special in Economic Theory and Application) Degree at the University of Colombo, Sri Lanka, and currently working as a Project Intern at the Institute of Policy Studies, Sri Lanka. President of Economics Association of Department of Economics at University of Colombo since 2020. Won the “Best Research Paper Award” under the theme of “Migration and Development” at 16th South Asian Economics Students’ meet held in Nepal in 2020 and received the “Best Research Paper Award” in the category of Undergraduate Research Forum at 8th International Conference on Management and Economics in 2019.

Share This Entry

Array