Blog

සාමය, අන්තර් සංවාද හා තාරුණ්‍යයය

සාමය ගොඩනැගීමේ දී වැදගත් මෙවලමක් ලෙස අන්තර් සංස්කෘතික සංවාද හඳුනාගත හැක. මෙම සංවාද සඳහා තරුණ ප්‍රජාවගේ අදහස් සහ යෝජනා අන්තර්ගත කර ගැනීමේ අවශ්‍යයතාවය හා වැදගත්කම අවධාරණය කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

පළමුව අප සංවාදයේ නිරවද්‍ය අර්ථ නිරූපණය විමසා දැන ගත යුතුය. සංවාදයක් යනු පොදු සාකච්ඡාවක්, දේශනයක්, සම්මන්ත්‍රණයක්, විවාදයක් හෝ දෙබසක් ආදි වූ තත්ත්ව වලින් වියුක්ත වූ අනන්‍ය ලක්ෂණ සහිත මිනිසුන්ගේ උපකල්පන, සංජානන හා නිරීක්ෂණ හරහා මිනිසුන්ට මතු වීමට සුදුසු ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කොට ඇති තත්වයකි. එහිදී අන් අයගේ මතය විවේචනය නොකෙරේ. එසේම ගැටලු සඳහා විසඳුම් සෙවීමට එය උත්සාහ නොගනී. අනෙකාගේ හැඟීම් තේරුම්ගෙන ගරු කිරීම මුල් කොටගෙන සෑම පාර්ශවයක් කෙරෙහිම සහකම්පනයෙන් යුතුව ඇහුම්කම් දීම, සාර්ථක සංවාදයක් හරහා අපේක්ෂිත සාම සාධනයට දායක වේ.

ප්‍රධාන වශයෙන් ලෝකය තුළ විවිධ අනන්‍යතා හඳුනාගත හැක. එය ජාතිය මත හෝ ආගම, භාෂාව, කුලය, පන්තිය, ලිංගිකත්වය, රැකියා තරාතිරම, මූල්‍ය හැකියාව ආදී බොහෝ සාධක මත පදනම් වූ බහුවිවිධත්ව ලෙස හැඳින්විය හැක. එම විවිධත්ව සමඟ ගනුදෙනු කිරීමේදී ස්වයං අභිලාෂ සඳහා ප්‍රමුඛතාවය දීම නිසා හෝ සාධාරණ හා සමාන අවස්ථා අහිමි වී යාම වැනි හේතු කාරණා හරහා ගැටුම් හා අර්බුද හට ගැනීම මෙන්ම සාමය බිද වැටීමට ද ලක්වෙනු ඇත. මේ හරහා අවිශ්වාසය, ජීවිත හා දේපළ හානි, ක්‍රෝධය, පළිගැනීම ආදී ඍනාත්මක පැතිකඩ නිර්මාණය වේ. මෙවන් තත්ත්වයක් තුළ සෑම පාර්ශ්වයකටම සමාන අවස්ථා ලබා දෙමින් සිදු කරන සංවාද ක්‍රමවේද ඊට යහපත් ආමන්ත්‍රණයක් යැයි මා සිතමි.

පළමුව ආරක්ෂිත අවකාශයක් ගොඩනැගීමට ඉගෙන ගැනීම, එකගතාවයකට ඒමට හැකි ක්‍රම වෙත අවධානය යොමු කිරීම, සුදුසු සන්නිවේදන කුසලතා භාවිතය, සැඟවී ඇති දෑ ඉස්මතු කරලීම, පාර්ශව අතර සම්බන්ධතාවය ට මුලිකත්වය දීම, දුෂ්කර තත්ත්ව තුළදීද එක්ව රැදී සිටීම, එසේම මුහුණ දීමට සිදුවන තත්ත්ව අනුව වෙනස් වීමට කැමැත්තෙන් සිටීම යන්න සංවාදයේ මූලධර්ම හතකි.මෙම මූලධර්ම මත පිහිටා විවිධත්වය තුළින් සාමය හා සංහිඳියාවෙන් යුතු සමාජ සන්දර්භයක් ගොඩනැගීමට සංවාද භාවිතා කළ හැක. ප්‍රධාන වශයෙන් තරුණ තරුණියන් අතර කෙරෙන සංවාදය මෙකී සාමය ගොඩනැගීමට අපට දායක කොට ගත හැක.

සංවාදයේ මානයන්,

ලෙස අන්තර් සංවාද හා කේවල සංවාද වැදගත් වේ. විවිධ ආගම්, ජාතීන්, ජනවර්ග සංස්කෘතීන් අතර සෑම පාර්ශවයකම සහභාගිත්වයෙන් අපට අන්තර් සංවාද ගොඩ නැගිය හැක. නිදසුනක් ලෙස අන්තර් ආගමික සංවාද ගත හැක. (ලංකාවේ බෞද්ධ, කතෝලික, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්…) එසේම කේවල සංවාද තුළ යම් එක් පාර්ශවයක් හෝ එක් අනන්‍යතා ප්‍රජාවකගේ අභ්‍යන්තරයේ පවතින විවිධත්වය තුළ වන සංවාදයක් සඳහා ඉඩකඩ ලැබේ. (ක්‍රිස්තු දහම තුළ පවතින විවිධ ආගමික පාර්ශව, LGBTQ+ ප්‍රජාව අභ්‍යන්තරයේ ඒ ඒ කොටස් සදහා අවස්ථාව ලැබීම) මේ හරහා එකිනෙකාගේ තත්ත්ව ගැන නියමාකාර අවබෝධයක් හා විශ්වාසයක් ගොඩ නගා ගනිමින් සංහිඳියාවක් ගොඩ නගා ගත හැක.

ලෝකයේ අවුරුදු 15 -24 ත් අතර වයස් වල පුද්ගලයන් බිලියන 1.3 ක් සිටින අතර ඉන් බිලියනයකට ආසන්න පිරිසක් ගැටුම් ඇතිවීමට ඉඩ ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත්වන බව එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන සංඛ්‍යා ලේඛන වාර්තා කරයි.

සාමය ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී තරුණ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම, තම රටේ යහපැවැත්ම පිළිබඳ තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ තරුණයින්ට සක්‍රීය කොටස් කරුවන් වීමට ඉඩකඩ තිබිය යුතුය. තාරුණ්‍යයේ ශක්තිය ගැටුම් ආදී සෘණාත්මක පරිසරයන්ගෙන් මුදවා සමාජ සංවර්ධනය, සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කෙරෙහි වන ධනාත්මක තත්ත්ව සාක්ෂාත් කරලීමට පරිවර්තනය කළ හැක. රටක සාම ක්‍රියාවලීන් තුළ තරුණ නියෝජනය ප්‍රමාණවත් ලෙස සලකා බැලිය යුතුය. විශේෂයෙන් තරුණයාට ආවේණික ලක්ෂණ සාමය ගොඩනැංවීම සඳහා වන සංවාද සඳහා සමපාත වන්නේද? එහි සාර්ථකත්වයට වන බලපෑම කවරේදැයි විමසා බැලිය යුතුයි.

ශිෂ්ට තරුණ තරුණියන්ගේ සමාජ, ආධ්‍යාත්මික හා සදාචාරාත්මක විචක්ෂණශීලීභාවය සමාජ ආචාරධර්ම හරහා සාමකාමී සමාජ පර්යායක් නිර්මාණය කරයි. ආදරය, මිත්‍රත්වය, අන් අයගෙන් නිදහස් වීම, ශාරීරික පූර්ණත්වය, අන් අයට ගරු කිරීම, සාධාරණත්වය හා පරෝපකාරය වැනි තරුණයාට අනන්‍ය වූ ලක්ෂණ සාමය ගොඩනැගීම සඳහා වන සංවාද සඳහා තරුණ සහභාගිත්වය අතිශය ඵලදායි මානයන් සඳහා විවෘත වේ. සංවාදයක් තුළ සම්බන්ධිත පාර්ශවකරුවන්ගේ අපේක්ෂිත එකගතා හෝ මූලික තත්ව තරුණයා තුළ ස්වභාවිකව පිහිටා ඇත. එබැවින් එය පහසුවෙන් හසුරුවා සාමය ගොඩනැගීම සඳහා සංවාදකරණය තුල තරුණයන් ප්‍රවර්ධනය කරමින් ප්‍රායෝගිකත්වයට පත්කළ හැක.

ගැටුම් හා යුද්ධ

සාමය ගොඩනැඟීම පිළිබඳ තම මතය, අදහස් ගැන පමණක් විශ්වාසයක් ගොඩනැගීම හරහා අනෙක් ප්‍රජාව නොසලකා හැරීමකට බඳුන් වෙයි. ඒ හරහා තරුණ ප්‍රජාව තුළ පක්ෂග්‍රාහී හෝ අන්තගාමී මානයන් ඉස්මතු වේ. ලොව පුරා ගැටුම් හා යුද්ධවල ප්‍රමුඛත්වය හා බහුතර සහභාගීත්ව පාර්ශ්වය වන්නේ තරුණයන්ය. ඔවුන්ව පහසුවෙන් මෙහෙය විය හැක.

සාමය සඳහා වන සංවාද මෙහෙයවීම තුලින් අන්‍ය මත ප්‍රතික්ෂේප නොකරමින් සියලු මතයන්ට පොදු අවස්ථාවන් ලබාදෙමින්, සෘණාත්මක චිත්තවේග පාලනයට මෙන්ම තිරසාර සාමයක් සඳහා තාරුණ්‍යය තුලින්ම ඉඩ විවර වනු ඇත. මෙහිදී තරුණ ප්‍රජාව ඒ ඒ විවිධත්ව තුළ විවිධ අනන්‍යතා හා වටිනාකම් වලට ගරු කිරීම හා ඒවා ආරක්ෂා කිරීමට සිය ශක්ති ප්‍රමාණය වැය කරයි. මෙම සංවාද හරහා පුද්ගල අභ්‍යන්තර සාමය, සාමාජීය සාමය, සංහිඳියාව, අන්තර් විශ්වාසය ගොඩනැගීම මෙන්ම සාර්ව මට්ටමේ ගෝලීය සාමය කරා ගමන් කළ හැක. කලකිරීම්, බිඳවැටීම්, සැකය, අවිශ්වාසය සහිත තරුණ ප්‍රජාවගේ හඬ හා සහභාගීත්වය මෙවන් සංවාද තුළ වැදගත් වේ. එසේ හඬ අවදි කිරීමට ඔවුන්ට නිදහස් අවකාශයක් තිබිය යුතුය. විවෘත හා සාමූහික පොදු හැගීම දක්වා ඔවුන් මෙහෙයවීමටත් අවසානයේ සාමය හා සංහිඳියාව ඉලක්ක පූර්ණයට ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගීමට සියලු තරුණ පිරිස් වලට හැකියාව ඇත.

ඉදිරි මග

සන්නද්ධ ගැටුම් වැළැක්වීම හා තිරසාර සාමය ගොඩනැගීම සඳහා ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, සාධාරණ ප්‍රවේශය, මානව අයිතීන් සුරැකීම, යහපත් ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ආදී ක්ෂේත්‍ර පිළිබඳ තරුණ ප්‍රජාව අතර විවිධත්වයෙන් යුතු සංවාද ගොඩනැගීම හරහා සාධනීය පරිසරයක් නිර්මාණය කොට ගත හැක.

සාමය ගොඩනැගීම සඳහා ක්‍රියාකිරීමට, සහභාගිවීමට තරුණයන්ට පුහුණු අවස්ථා ලබා දීම වැදගත් වේ. ඔවුන්ගේ තරුණ ජවය හා හැකියාවන් නව තාක්ෂණික ප්‍රවණතා වලට අනුවර්තනය වීමේ හැකියාව මත තරුණයන්ට මැදිහත්කරුවන්, ප්‍රජා බලමුළු ගන්වන්නන්, මානුෂීය සේවකයන්, සාම නියෝජිතයින් ලෙස කටයුතු කළ හැක.

එසේම නව සමාජ මාධ්‍ය මාධ්‍ය භාවිතය හා තරුණ ප්‍රජාවට සාමය ගොඩනැගීමට හා සංවාද ප්‍රවර්ධනයට පහසුව ලැබී ඇත. සාමය හා සංහිඳියාව ගොඩනැගීමට වසර ගණනාවක් ගත වුවද අනවබෝධය හෝ අපරීක්ෂාකාරී බව හරහා එම තත්ත්වය විනාශ වී යාමට ගත වනුයේ තප්පර ගණනකි. එතරමකටම තාක්ෂණය හා සන්නිවේදනය අද වන විට ප්‍රබල හා දියුණු වී ඇත.

එහෙයින් සාමය ගොඩනැංවීම සඳහා වන අන්තර් සංවාදයන්හි මුලිකත්වය තරුණයන්හට ලබාදීමෙන් බෙදුණු ප්‍රජාවන් එක් කිරීම සහ ප්‍රතිසන්ධානයේ ශක්‍ය ක්‍රියාවලීන් සහතික කිරීමට උපයෝගී කර ගත හැක.

About the Author:

Vinayalankara Thero Moragoda

Moragoda Vinayalankara Thero

Share This Entry

Array